'ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා ශ්‍රී ලංකාව ආරක්‍ෂක මණ්ඩලයට යොමු කරන්න'

යුද සමයේ සිදුකරන ලද බරපතල අපරාධ පිළිබඳ පූර්ණ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩ සළසනු වස් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත යොමුකරන ලෙස උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන පූජක ප්‍රජාවේ නියෝජිත පිරිසක් විසින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ හා මානව අයිතීන් උල්ලංඝණයන් පිළිබඳ විභාග කිරීම සඳහා දෙමුහුම් අධිකරණයක් නිර්දේශ කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන වාර්තාව බදාදා (16) ජිනීවාහිදී එළි දක්වීමට සමාන්තරව මහ කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති මෙම ලිපිය සඳහා මඩකළපුවේ රදගුරු පොන්නයියා ජෝසෆ් සහ ත්‍රීකුණාමලයේ රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලෛ ඇතුළු උතුරු - නැගෙනහිර පූජක ප්‍රජාවේ සාමාජිකයන් 170 දෙනෙකු අත්සන් තබා තිබේ.

දණ්ඩ මුක්තිය

"පරීක්‍ෂණ කොමිසම් පත් කිරීම හරහා පීඩාවට පත්වූවන්ට යුක්තිය සෙවීම පිළිබඳ අඳුරු ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව ඇති අතර අතීතයේ සිදු වූ උල්ලංඝණයන් සම්බන්ධයෙන් කිසිදු වග වීමක් දේශීයව සිදුව නැත. එසේම ජාත්‍යන්තර සංඝටකයක් සම්බන්ධ කොටගත් සාර්ථක දේශීය මුලපිරීමක් ද ක්‍රියාවට නංවා නැත. එසේ පත් කළ 'ස්වාධීන ජාත්‍යන්තර විද්වතුන්ගේ කණ්ඩායම' අසාර්ථක වූයේ ස්වාධීනත්වය හා සාක්‍ෂිකරුවන්ගේ ආරක්‍ෂාව සහතික කිරීමට නොහැකි වීමත්, දණ්ඩ මුක්තිය පිළිබඳ රට තුළ පවතින වාතාවරණයත් නිසා ය" පූජක නියෝජිතයන් පෙන්වා දෙයි.

හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා යුද්ධයේ අවසාන සමයේ සිදුකළ කාර්යය අගයමින් ෆීල්ඩ් මාර්ෂල් ධූරයට උසස් කිරීමත්, යුද අපරාධ චෝදනාවන්ට පාත්‍ර වූ මේජර් ජෙනරාල් ජගත් ඩයස් හමුදා මාණ්ඩලික සේවා ප්‍රධානී තනතුරට පත් කිරීමත් විසින් දණ්ඩ මුක්ති පිළිබඳ රට තුළ පවත්තනා තත්ත්වය මනාව පෙන්නුම් කරන බව අදාළ ලිපියේ දැක් වේ.

නව දේශපාලන වාතාවරණය

ජිනීවා හි පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන වාර්තාව එළි දක්වමින් කතා කළ මානව හිමිකම් කොමසාරිස් සයීද් රාඩ් අල් හුසේන් ප්‍රකාශ කර සිටියේ නව වාර්තාව එළි දැක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දනවන නව දේශපාලන සන්දර්භයක් තුළ බවයි.

"මූලික වෙනසක් සඳහා වන මෙම ඓතිහාසික අවස්ථාව ගිළිහී යාමට ඉඩ නොදීම තීරණාත්මකව වැදගත් වේ" යැයි මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක් වේ.

දේශීය පරීක්‍ෂණයකට බ්‍රිතාන්‍ය සහාය

කෙසේ වුවද, මැතිවරණ දෙකකින් පසු පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටු කිරීමට නව ජාතික ආණ්ඩුවට හැකි වෙතැයි කල්පනා කිරීම මිත්‍යාවක් බව පෙන්වා දෙන උතුරු නැගෙනහිර පූජක ප්‍රජාව සිය ලිපිය මගින් දන්වා ඇත්තේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ වගකිව යුත්තන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා, විභාග කොට දඬුවම් පැමිණවීමට අවශ්‍ය ශක්‍යතාව හෝ දේශපාලන අධිෂ්ඨානය ඉතාමත් අවම බව ය. කවර හෝ වග වීමේ යාන්ත්‍රණයක් සැළසුම් කළ යුත්තේ පීඩාවට පත්වූවන්ගේ උපදෙස් සැළකිල්ලට ගැනීමෙන් බව ද ඔවුහු පෙන්වා දෙති.

"මේ හේතුවෙන්, යුද්ධයේ අවසාන සමය ද ඇතුළත්ව සිදුකර ඇති අපරාධයන්ගේ බැරෑරුම්කම සළකා ශ්‍රී ලංකාව ආරක්‍ෂක මණ්ඩලය වෙත යොමුකරන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අපි ඉල්ලා සිටිමු" යි ලිපියේ දැක්වේ.

මේ අතර සඳුදා (14) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ ආණ්ඩුවේ පිළිවෙත පැහැදිලි කරමින් කතා කළ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර්, ශ්‍රී ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර විසින් මානව හිමිකම් කවුන්සිලය අමතා කළ කතාව පිළිබඳ ප්‍රසාදය පළ කරමින් කියා සිටියේ 'අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයකට' බ්‍රිතාන්‍ය රජය සහාය දක්වන බව ය.☐

© JDS