'නව මැතිවරණ ක්‍රමයට අපි විරුද්ධයි' දෙමළ දේශපාලන පක්ෂ දෙකක් කියති

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පවතින මැතිවරණ ක්‍රමයට ඉදිරිපත්කර ඇති සංශෝධනයන්ට තමන් එක හෙළාම විරුද්ධ බව ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ දෙකක් ප්‍රකාශ කර සිටියි. යෝජිත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂවල මතය විමසා නැති බවත්, තමන් ඒ පිළිබඳ මතුකරන ලද ගැටලුවලට ආණ්ඩුව මෙතෙක් පිළිතුරු දී නැති බවත් ඔවුහු කියා සිටිති.

යුද්ධයෙන් ලක්‍ෂ ගණනක ජනතාවක් මියයාමෙන් හා විදෙස් ගතවීමෙන් කෘත්‍රිම ව නිර්මාණය කැරුණු තත්ත්වයක් දඩමීමා කරගෙන උතුරු නැගෙනහිර ඡන්ද කොට්ඨාශ හෝ මන්ත්‍රී ආසන අඩුකිරීමට තමන් එකඟ නොවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් JDS වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කියා සිටියේ ය.

‘‘එක් කාලෙක වතුකරයේ ජනයාට ඡන්ද අයිතිය පවා අහිමි කළා. අද ඡන්ද අයිතිය තිබුණත් ඔවුන්ට පාර්ලිමේන්තු නියෝජනයක් අහිමිවන තත්ත්වයක් නිර්මාණය කරන්න උත්සාහ දරන්නේ නම් එය ඉතාම නරක තත්ත්වයක්. ඒ වගේම යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වලටත් ලක්‍ෂ ගණනක ජනතාවක් හිමි වෙලා තියෙනවා. තවත් ලක්‍ෂ ගණනක් ජනයා රැකවරණ පතා පිටරටවලට ගොස් තිබෙනවා. මෙවැනි කෘත්‍රිමව ඇතිකළ අස්වාභාවික තත්ත්වයක් දඩමීමා කරගෙන උතුරු නැගෙනහිර පළාත්වල ඡන්ද කොට්ඨාශ ප්‍රමාණය අඩු කරන්න හෝ එහි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කරන්න හදනවා නම් එය බලවත් අසාධාරණයක්. එවැනි කප්පාදුවකින් තොරව අඩුම තරමේ අවුරුදු 15ක්වත් මේ පවතින තත්ත්වය පවත්වාගෙන යන්න ඕනෑ. දැන් යාපනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ දෙනෙක් ඉන්නවා නම් ඒ තත්ත්වය මේ මොහොතේ වෙනස් නොකළ යුතුයි. අපි මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් පැහැදිළි කිරීමක් ඉල්ලා තිබෙනවා. ඒත් අද වනතුරු ඊට පිළිතුරක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නෑ."

'යටිකූට්ටු වැඩක්'

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් JDS වෙත කියා සිටියේ, යෝජිත  මැතිවරණ ක්‍රමය මගින් දෙමළ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සංඛ්‍යාව අඩු වැඩි වෙනවාද යන්නටත් වඩා බරපතල ගැටලුව වන්නේ එමගින් දෙමළ හා මුස්ලිම් ජනතා නියෝජිතයන් රහිතව සිංහල ජනතා නියෝජිතයන්ගෙන් පමණක් ආණ්ඩුවක් පිහිටුවීම ඉලක්ක කොට තිබීම බව යි. මෙය දෙමළ කතාකරන ජනයාගේ කේවල් කිරීමේ අයිතිය සුන්නද්දූලි කරන යටිකූට්ටු වැඩක් බවත්, සිංහල බෞද්ධ න්‍යාය පත්‍රය සාර්ථකව ඉදිරියට ගෙන යාමේ උත්සාහයක් බවත් පොන්නම්බලම් පැවසීය.

‘‘පවතින ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් දෙමළ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ගණන අඩු වෙනවද, වැඩි වෙනවද කියන එක නෙමෙයි ප්‍රධාන ගැටලුව. විශේෂයෙන් දෙමළ නියෝජිතයන්ගේ සංඛ්‍යාව අඩු නොවුණත්, පවතින ඡන්ද ක්‍රමය වෙනස් කිරීම තුළින් එම වෙනස සිදුකරන පාර්ශවය ඉලක්ක කරන්නේ කුමක්ද කියා අප සොයාබැලිය යුතුයි. ඔවුන්ගේ ඉලක්කය තමයි, දෙමළ මුස්ලිම් ජනයා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මත යැපෙන්නේ නැතිව ආණ්ඩුවක් පිහිටුවන්න හා පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමයක් ස්ථාපිත කරගැනීම. එජාපය වේවා, ශ්‍රීලනිපය වේවා, වෙනත් සිංහල දේශපාලන පක්ෂයක් වේවා, ආණ්ඩුවක් හැදීමේ දී සිංහල නොවන වෙනත් සුළු ජනකොටස් නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් මත යැපිය යුතු නෑ කියන එක තහවුරු කරගැනීම තමයි මෙහි සැබෑ අරමුණ. මේ තුළින් සිංහල බෞද්ධ න්‍යාය පත්‍රය සාර්ථකව ඉදිරියට ගෙනයාමේ උත්සාහයක් තියෙනවා."

කේවල් කිරීමේ අයිතිය

දෙමළ, මුස්ලිම් හා වතුකරයේ ජනයාගේ ඡන්ද මත යැපෙන්නේ නැතිව සිංහල ජනයාගේ ඡන්දයෙන් පමණක් පත්විය හැකි ස්ථාවර ආණ්ඩුවක් ස්ථාපිත කරගැනීමටත්, එහි පාලනය රටතුළ ගෙන යා හැකි වාතාවරණයක් නිර්මාණය කරගැනීමටත් අවශ්‍ය නම්, පළමුව ජාතික ප්‍රශ්නයට අදාළව දෙමළ කතාකරන ජනයාගේ මූලික ප්‍රශ්නවලට විසදුමක් ලබාදිය යුතු යැයි දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායකයා පැවසීය. එසේ කරන්නේ නම් තමන් නව සංශෝධනයන්ට විරුද්ධ නොවන බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

"එහෙම නැතිව, ජාතික ගැටලුවට එවැනි සාධාරණ විසදුමක් නොලැබෙන තත්ත්වයක් තුළ මේ ඡන්ද ක්‍රමය සම්මත කරගත්තොත්, අනිවාර්යයෙන් දෙමළ කතාකරන ජනයාගේ කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලබාදෙන්න ඔවුන්ට තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ."

මේ අතර, සුළු පක්ෂවල අදහස් විමසීමකින් තොරව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමට කටයුතු කළහොත් තමන් ඊට එරෙහි ව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් පසුගිය දා ප්‍රකාශ කළේ ය. එහෙත් පසුගිය 12 වැනි දා කැබිනට් මණ්ඩලයේ දී අනුමත වූ 20 වැනි සංශෝධනයට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය හිමිවන බව එහි පාර්ශවකරුවකු වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් කියා සිටියේ ය.☐

© JDS