'මගේ සැමියා යටත් වූයේ ඉන්දියාව මැදිහත් වූ නිසායි' - ආනන්දි සසීදරන්

න්නි යුද්ධයේ අවසන් දින කිහිපයේදී දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ඇතැම් නායකයන් ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක හමුදා වෙත භාර වුයේ ඉන්දියාවේ මැදිහත් වීමෙන් බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරියක් තහවුරු කර සිටියි. කොටි සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් දේශපාලන අංශ ප්‍රධානියාව සිටි සින්නතුරේ සසීදරන් හෙවත් එළිලන් රජයේ හමුදා වෙත බාර වීමෙන් පසු අතුරුදහන් වීම සම්බන්ධයෙන්  ඉදිරිපත් කර තිබූ හබයාස් කෝපුස් පෙත්සමක් ඉකුත් බ්‍රහස්පතින්දා (4) මුලතිව් දිසා අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ මේ බව අනාවරණය කෙරුණි.

  එළිලන්ගේ බිරිඳ වන උතුරු පළාත් සහා මන්ත්‍රීනි ආනන්දී සසීදරන් මෙහිදී සාක්‍ෂි දෙමින් සිය සැමියා වූ එළිලන්, ඉන්දීය ලෝක් සහා මන්ත්‍රීනි කනිමොලි කරුණානිධි සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව යටත් වීමට තීරණය කළ බව ප්‍රකාශ කළේ යැයි ඇය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිවේදී කේ එස් රත්නවේල්  JDS වෙත තහවුරු කළේය. මෙම දුරකතන සාකච්ඡාව සිදුවූයේ සසීදරන් මහත්මිය ඉදිරිපිටදී බවත්,  එහිදී කනිමෝලි කරුණානිධි තම සැමියාට බාර වන්නැයි උපදෙස් දුන් බවත් ඇය විසින් ප්‍රකාශ කළේ යැයි නීතීඥ රත්නවේල් වැඩි දුරටත් කියා සිටියේය.

කනිමෝලි කරුණානිධි, එවකට තමිල්නාඩු මහ ඇමතිවරයාව සිටි මුතුවේල් කරුණානිධිගේ දියණියයි.

පොකුරු බෝම්බ

“අවසන් දින කිහිපයේ කොටි සංවිධානයේ නායකයන් ඇතුළු සාමාජිකයන් රජයේ හමුදාවන්ට බාර වූයේ ඉන්දියාව අතැළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලද සහතිකය මත  බව තහවුරු කළ හැකි ඇසින් දුටු සාක්‍ෂිකාරියක ලෙසත්, ඒ හේතුවෙන් සෘජු අගතියට පත් වූ  අයෙක් ලෙසත් ආනන්දී ගේ සාක්ෂිය ඉතා වැදගත්. ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ හමුදා ජාත්‍යන්තරයේ තහංචි නොතකා පොස්පරස් සහ පොකුරු බෝම්බ අහිංසක සිවිල් ජනතාවට එරෙහිව භාවිතා කළ බවත් ඇයගේ සාක්‍ෂියෙන් පැහැදිලි වෙනවා”යි නීතිඥ රත්නවේල් JDS වෙත ප්‍රකාශ කළේය.

කනිමොලි කරුණානිධි සමග පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස, 2009 මැයි 18 වැනිදා එළිලන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදා වෙත භාර ඇති නමුත් ඔවුන්ගේ ඉරණම කුමක් වී දැයි මේ දක්වා හෙළිදරව් වී නොමැත. අතුරුදහන් වූ සිය සැමියා පිළිබඳ තොරතුරු හෙළිකරන මෙන් ඉල්ලා ආනන්දී සශිදරන් විසින් මෙම හබෙයාස් කෝපුස් පෙත්සම ගොණු කරන ලද්දේ 2013 වසරේදී ය.

බුද්ධි අංශ තර්ජන

මේ සම්බන්ධයෙන් JDS කළ විමසීමකදී ආනන්දී සසීදරන් කියා සිටියේ මෙම පෙත්සම විභාග කිරීම ආරම්භ කළ දා සිට රජයේ හමුදා බුද්ධි අංශයට සම්බන්ධ පිරිස් තමාට තර්ජන එල්ල කරමින් දැඩි පීඩනයකට ගොදුරු කොට ඇති බවයි.

"මීට පෙරත් නඩු විභාගය පටන් ගන්නකොට හමුදාව මිනිස්සු සංවිධානය කරලා උසාවිය ඉස්සරහ මට විරුද්ධව උද්ඝෝෂණය කරවනවා. හමුදාව යටතේ තියෙන ගොවිපොලවල වැඩට යොදවාගෙන ඉන්න මිනිස්සු බස් වලින් ගෙනත් තමයි මේ උද්ඝෝෂණ කරන්නේ” ඇය ප්‍රකාශ කළාය.

යුද්ධයේ අවසාන දින කිහිපය තුළ දී රජයේ හමුදාවන්ට භාර වූ කොටි සංවිධාන සාමාජිකයන් 110 දෙනෙකු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින්, ඔවුන්ගේ ඉරණම කුමක් වී දැයි හෙළිදරව් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ලේඛනයක් ඉකුත් මැයි 18 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායමක් විසින් ද නිකුත් කර තිබුණි. දකුණු අප්‍රිකානු මානව හිමිකම් පදනමේ විධායක අධ්‍යක්‍ෂවරියක් හා සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අන්තර්ජාතික විශාරදවරියක වන යස්මින් සූකාගේ අත්සනින් නිකුත් කරන ලද මෙම ලේඛනය සකස් කොට තිබුණේ සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසිනි. ☐

© JDS