මානව හිමිකම් සංවිධාන ඉල්ලීම් ගැන ජෝන් කෙරී මුනිවත රකියි

ජය විසින් සිරගත කොටගෙන සිටින සියලූ රැඳවියන්ගේ නම් සහ ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන හෙළිදරව් කරන්නැ’යි මෛත‍්‍රිපාල සිරිසේන පාලනයෙන් ඉල්ලා සිටින මෙන් එරට මුල්පෙළේ මානව හිමිකම් සංවිධානයක් විසින් කළ ඉල්ලීම ශ‍්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් ඉටුකොට ඇති බව වාර්තා නොවේ.

රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ‍්‍රී ලංකාවට ගොඩබට මැයි පළමුවැනිදා ඔහුට ඊමේල් ලිපියක් යවමින් යුක්තිය හා වගවීම පිළිබඳ මධ්‍යස්ථානය (Center for Justice & Accountability - CJA) ඉල්ලා තිබුණේ සියලූ රැඳවියන්ගේ නම් සහ රැඳවුම් ස්ථාන වහාම හෙළිදරව් කිරීමට රජය පොළඹවන ලෙස යි. ත‍්‍රිකුණාමලයේ රහස්‍ය රැඳවුම් කඳවුරක් ගැන ජනමාධ්‍ය එළිදරව් කර ඇති බව ද එම ලිපියේ සඳහන් විය.

එහෙත් සිය නිල සංචාරයේ දී ජෝන් කෙරී එම ඉල්ලීම ඉටුකළ බවක් වාර්තා වූයේ නැත.

ඉල්ලීම් පහක්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාට යොමුකළ සිය ලිපියෙන් CJA රැඳවියන්ගේ නම් සහ රැඳවුම් ස්ථාන හෙළිදරව් කරන්නැයි ඉල්ලා සිටීමට අමතරව තවත් කාරණා හතරක් සම්බන්ධයෙන් සිරිසේන පාලනයේ අවධානය යොමුකරන ලෙස ඉල්ලා තිබිණි. ඒ අතර 1994 හා 1998 ශ‍්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ කොමිෂන් සභා විසින් නිර්දේශ කර තිබූ ආකාරයේ නීතිපතිවරයාගෙන් ස්වාධීන විශේෂ අභිචෝදකයකු යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීම සඳහා පත්කරන ලෙස ඉල්ලීම, යුද අපරාධ විමර්ෂණය කිරීම හා නඩු විභාගකිරීම සඳහා යෝග්‍ය ජාතික හා ජාත්‍යන්තර කාර්යමණ්ඩලවලින් සමන්විත විශේෂිත නඩු විභාග හා අභියායචන ස්ථාන ඇතිකිරීමට උපකාර කිරීම, සිය අන්තර්කාලීන අධිකරණ රාමුව සකසාගැනීම සඳහා වින්දිතයන් හා දිවි ගලවාගත්තවුන්, ප‍්‍රජා නායකයන්, නීතීඥයන් හා සිවිල් සමාජයෙන් අදහස් විමසන ලෙස සිරිසේන පරිපාලනයෙන් ඉල්ලීම, සත්‍යය හා යුක්තිය පතන්නන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂණ හා ඔත්තුසේවා ව්‍යූහයන්ගේ සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ  ප‍්‍රතිව්‍යූහකරණයක් නිර්දේශ කිරීම, මේ දක්වාම වාර්තා වන වැඩමුළු හා ප‍්‍රජා හමුවීම්වලට සහභාගී වන්නන් පසුපස හඹායාම, ඔවුන් හිරිහැරයට පත්කිරීම හා අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම ආදී කටයුතුවලින් ත‍්‍රස්ත විමර්ෂණ දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැළැක්වීම නිර්දේශ කිරීම යන කාරණා ද වෙයි.

මෙම කරුණු සම්බන්ධයෙන් තමන් සිදුකළ මැදිහත්වීම පිළිබඳ පැහැදිළි ප‍්‍රකාශයක් ජෝන් කෙරීගෙන් සිදු වූ බව වාර්තා නොවුණි.

CJA යනු මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ආන්දෝලනයට තුඩු දුන් නීති මැදිහත්වීම් රැසකට මුල් වූ සංවිධානයකි. විශේෂයෙන්ම 200,000කට අධික මායා ඉන්දියානු ජනයා ඝාතනයට ලක් කරමින් '80 දශකයේදී ගෝතමාලාවේ හිටපු ජනාධිපති එෆ්රයින් රියෝස් මොන්ට් හා අවශේෂ රාජ්‍ය ප්‍රධානීන් විසින් දියත් කරන ලද රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ගයන්ට CJA නීතී ආධාර කණ්ඩායම් දායක වූ අතර, එල් සැලවදෝරයේත්, හයිටියේත්, හොන්ඩියුරාස් හා පේරුවියොවේත් ජන ඝාතනයන් හි නියැළුණු හමුදා ප්‍රධානීන්ට එරෙහිව අවස්ථා ගණනාවකදීම නඩු පැවරීමට ද ඔවුන් ක්‍රියාකොට තිබේ. චිලියේ ඒකාධිපති පිනෝෂේගේ පාලන සමයේ වධ බන්ධනයන්ට ලක්කර මරාදැමූ විප්ලවකාරී සංගීතඥයෙකු හා ක්‍රියාධරයෙකු වූ වූ වික්ටර් හාරාගේ මරණය සිදුකළ ලුතිනන් පාබ්ලෝ බරියන්තෝස් නුඤෙස්ට එරෙහිව ඉකුත් වසරේදී නඩු පැවරීමට මූලිකත්වය ගන්නා ලද්දේ ද CJA නීතී කණ්ඩායම් විසිනි.

'ඇතැම් විට යුද්ධය අවශ්‍යයි'

මේ අතර, මැයි තුන් වැනිදා ශ‍්‍රී ලංකාවේ නිල සංචාරය හමාර කරමින් ජෝන් කෙරී පැවසුවේ, ‘අතුරුදහන්වූවන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නට රජය දරන උත්සාහයට එක්සත් ජනපදය සහාය දක්වන බව යි. යුද්ධයේ දී ‘මිනීමරු ත‍්‍රස්තවාදී කල්ලියක් වන එල්ටීටීඊය විනාශ කරලීම' සම්බන්ධයෙන් දෙරටම එකඟතාවකින් සිටි බව ඔහු පැවසී ය.

ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ පදනම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධානය කළ හමුවක දී විශේෂ දේශනයක් පවත්වමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මෙසේ ද පැවසී ය.

"යුද්ධය විසින් ගෙන එන්නේ වේදනාව වුව, ඇතැම් අවස්ථාවල දී යුද්ධයකට යාම අවශ්‍ය වේ. පසුගිය ආණ්ඩුව එල්ටීටීඊය සමඟ සටන් කළේ කෙසේද යන්න පිළිබඳ මාගේ රටේ සකලාකාර මතභේදයන් පැවතියේ වුවද, මිනීමරු ත‍්‍රස්තවාදී කල්ලියකින් හා එය වැපිරූ බියෙන් මේ රට නිදහස් කරගැනීමේ අවශ්‍යතාව අපි පැහැදිළිව තේරුම්ගෙන සිටියෙමු.

"ඔබේ රටේ අධිකරණය යළි ස්ථාපිත කිරීම වූකලී, අධිකරණයේ ස්වාධීනත්වය සඳහා උසස් ප‍්‍රමිතීන්, සාධාරණත්වය හා නීතියේ නිසි ක‍්‍රියාකාරීත්වය අවශ්‍ය වන දිගුකාලීන කර්තව්‍යයකි. බොහෝ විට මේ ප‍්‍රතිසංස්කරණ ඉටුකරගැනීම කුමනාකාරයකින් හෝ අපහසු එකක් බවට පත්වේ.

"ඔබේ ආණ්ඩුව එක්සත් ජාතීන් සමඟ දිගටම සහයෝගයෙන් වැඩකරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නේ, එමඟින් මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල දේශීය විමර්ෂණ යාන්ත‍්‍රණයක් පිහිටුවීමට ඇති හොඳම මඟ සොයාබැලෙන බැවිනි. වැදගත්ම දෙය නම්, එමඟින් ඔබේ දෑස් ඉදිරියේම, මෙහි සිටින ජනතාවගේ දෑස් ඉදිරිපිටදීම එම කි‍්‍රයාවලිය යුක්තිසහගත වීමයි. මේ මාර්ගයේ ගමන් ගන්නා විට ශ‍්‍රී ලංකාවට අවශ්‍යවන ඕනෑම නීතිමය හා තාක්ෂණික සහායක් ලබාදීමටත්, හැකි සෑම උපකාරයක්ම කිරීමටත් එක්සත් ජනපදය සූදානමින් සිටී."☐

© JDS