'ගෝඨා කෑම්ප් ගැන සොයන්නේ නම් සාක්‍ෂි ඉදිරිපත් කරන්න සූදානම්'

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ පවත්වාගෙන යනු ලැබූ “ගෝඨාභය” රහසිගත කඳවුරු පිළිබද විධිමත් පරික්‍ෂණයක් සිදු කරන්නේනම් තමන් සතුව ඇති සාක්‍ෂි ඉදිරිපත් කළ හැකි බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සඳුදා (16)  යාපනයේදී මාධ්‍ය හමුවක් අමතමිනි. 

මෙම රහසිගත කඳවුර පිළිබඳව ඔහු විසින් ඉකුත් පෙබරවාරි මස පාර්ලිමේන්තුවේදී පළමු වරට හෙළිදරව් කරනු ලැබූ අතර අනතුරුව ඒ පිළිබඳව සොයාබලන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඉල්ලීමක් ද කරන ලදී. එහිදී අගමැති වරයා ඒ ගැන විමර්ශනය කිරීමට පොරොන්දු වී ඇති නමුත්, පසුව ප්‍රකාශ කර සිටියේ එවැනි රහසිගත කඳවුරක් නොමැති බවට නාවික හමුදාපති වරයා පවසන බව ය. එම ප්‍රකාශයම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් ද තහවුරු කරන ලදී.

වංචා දූෂන විමර්ශන

අදාළ ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙන් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව හෙබ වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ඔහුගේ ඇමතිවරුන්ගේ දුෂණ වංචා ගැන විමර්ශනය කීරීමට ඉමහත් වෙහෙසක් ගන්නා බව පෙන්වන වත්මන් ආණ්ඩුව දෙමළ පාර්ලිමේන්තු නියෝජිතයෙක් වශයෙන් තමන් විසින් කරන ලද අනාවරණය නොතකා හැරීම කණගාටුවක් කරුණක් බව ය.

'කලින් ආණ්ඩුවේ වංචාකාරී පිළිවෙත් ගැන සොයන්න ලෝක බැංකුවෙනුත් ආධාර ගන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා නම් පසුගිය ආණ්ඩුවේ මර්දන පිළිවෙත් ගැන සොයන්න ඒ හා සමාන උන්නදුවක් නැත්තේ ඇයි”දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

“පැහැරගත් සහ අතුරුදහන් වූ පුද්ගලයින් රඳවා තබා ඇති රහසිගත කඳවුරු පිළිබදව නිසි පරීක්‍ෂණයක් නොපවත්වා එවැනි කදවුරු නොමැති බව අග්‍රාමාත්‍යවරයාත්, අධිකරණ අමාත්‍යවරයාත් කරන මෙවැනි ප්‍රකාශ තුලින් දෙමළ ජනයාට තේරුම් යන්නේ දෙමළ ජනයාගේ අයිතීන් පිළිබඳ ප්‍රශ්නයේදී රාජපක්‍ෂ ආණ්ඩුව හා අලුත් ආණ්ඩුව අතර වෙනසක් නොමැති බවයි."

සාක්‍ෂිකරුවන්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ‘ගෝඨාභය’ නමින් රහසිගත කදවුරක් නිසැකවම පවත්වාගෙන ගිය බවත්, එහි පවුල් 35 ක් ඇතුළු 700කට නොඅඩු දෙමළ රැඳවියන් රදවා ගෙන  සිටි බවත් හෙළි කළ ප්‍රේමචන්ද්‍රන්, තමන් විසින් සිදුකළ අනාවරණයෙන් පසු එවැනි කඳවුරු වහා ඉවත් කිරීමට අදාළ ආරක්‍ෂක බලධාරීන් පියවර ගැනීමට ඉඩ ඇති බවද පෙන්වා දුන්නේය.

"නමුත් සාක්‍ෂිකරුවන්ගේ ජීවිත ආරක්‍ෂාව තහවුරු කිරීමට ලබාදෙන සහතිකයක් යටතේ මෙම කඳවුර ගැන පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන්නේ නම්  ඊට අදාළ සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීමට අපි සුදානම්,”යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

යුද්ධය අවසන් දිනවලදී 20,000 කට වැඩි පිරිසක් ඔවුන්ගේ ඥාතින් බලා සිටියදීම බස් රථවලට පටවා බලහත්කාරයෙන් රැගෙන ගිය නමුත් අද වනවිටත් ඔවුන් ගැන කිසිදු තොරතුරක් නොමැති බවද දෙමළ සන්ධාන නියෝජිතයා වැඩි දුරටත් කියා සිටියේය.

රැඳවියන් 49ක්

මේ අතර අත් අඩංගුවේ පසුවන පිරිස් පිළිබඳ නිවේදනයක් නිකුත් කරන අගමැති කාර්යාලය පවසන්නේ රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ දැනට රඳවා සිටින හිටපු විමුක්ති කොටි සාමාජිකයන් සංඛ්‍යාව 49 ක් පමණක් බව ය. අදාළ නිවේදනයට අනුව ඔවුන් රඳවා ඇත්තේ වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ ය.☐

© JDS