ජන වර්ග සංහාරයට එරෙහිව යුක්තිය ඉල්ලා ජිනීවා නුවර දෙමළ විරෝධතා

ර්ග සංහාරය නවතා දෙමළ ජනයාට යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලා විදේශගත දෙමළ ජනයා දහස් ගණනින් ඊයේ (16) ජිනීවා නුවර දී විරෝධතා දැක්වූහ. එංගලන්තය, ජර්මනිය, නොර්වේ, ප්‍රංශය, ඇතුළු යුරෝපා රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ කැනඩාව වැනි රටවලින් පැමිණි දෙමළ ජනයා ජිනීවා නුවර ප්‍රධාන දුම්රිය පොළ අසලින් ඇරඹූ පෙළපාලිය කිලෝමීටර් දෙකක් දුර ගෙවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මධ්‍යස්ථානය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත විය.

ශ්‍රී ලංකාවේ දෙමළ වර්ග සංහාරය පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර විමර්ෂණයක අවශ්‍යතාවය පෙන්වා දුන් උද්ඝෝෂකයන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනස ජාතික ප්‍රශ්නයට විසදුමක් නොවන බව යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුව විසින් සකස් කළ යුධ අපරාධ ගැන විමර්ශන වාර්තාව කල් දැමීම ගැනද මෙහිදී විරෝධය පල විය.

වත්මන් ජනපතිටත් චෝදනා

විදේශගත දෙමළ ප්‍රජාව වෙසෙන සෑම රටකින්ම පාහේ  විශාල තරුණ සහභාගිත්වයක් දකින්නට ලැබුණු අතර වැඩිම පිරිසක් එක්ව සිටියේ ප්‍රංශයෙනි.

දෙමළ වර්ග සංහාරයට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද වග උත්තරකරුවෙක් වන බවත්, පසුගිය ආණ්ඩුව ගෙනගිය වර්ග සංහාරක සැළැස්ම නව පාලනය තුළ ද අඛණ්ඩව සිදුවෙමින් තිබෙන බවත් උද්ඝෝෂකයෝ අවධාරණය කළහ.

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ දෙමළ සම්බන්ධිකරණ කමිටුව හා එක්ව “මක්කල් පේරවෙයි” සංවිධානයයි.☐

© JDS