එක්සත් ජාතීන්ට විරෝධය පා උතුරේ ජනයා දහස් ගණනින් පෙළපාලියේ

තුරේ දහස් සංඛ්‍යාත දෙමළ ජනකායක් මුල්ම වතාවට එක්සත් ජාතීන්ට විරෝධය පාමින් යාපනයේ පෙළපාලි පැවැත්වුහ. අඟහරුවාදා (24) පෙරවරුවේ යාපනය විශ්ව විද්‍යාලය අසළින් ආරම්භ වී නල්ලුර් කෝවිල අසලින් අවසාන වූ පෙළපාලියට සහභාගිවූ උද්ඝෝෂකයන් තම විරෝධය පල කළේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෙළි කෙරෙන පරීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කවුන්සිලය විසින් මාර්තුවේ සිට සැප්තැම්බරයට කල් දමමින් ආණ්ඩුවට අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ සලසා දීමට එරෙහිවයි.

බහුජන සංවිධාන, යුද පීඩිතයන්, අතුරුදහන් වුවන්ගේ ඥාතීන්, ශිෂ්‍ය සංවිධාන, දෙමළ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති එක්වූ උද්ඝෝෂණය සංවිධානය කළ යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ඒ රාසකුමාරන් නල්ලුර් කෝවිල අසළ පිහිටි තිලීපන් සමරුවේ නටබුන් අබියසදී රැස්ව සිටි පිරිස අමතා ප්‍රකාශ කළේ රාජපක්ෂ පාලනයේ සාමාජිකයන් නිලතල හොබවන වත්මන් රජයෙන් යුක්තිය අපේක්ෂා කළ නොහැකි බවයි. ' ඔවුන් මේ සියලු අපරාධ සිදු වෙද්දී පරාජය වූ ආණ්ඩුවට සහාය දැක්වූ බව,' ආචාර්ය සංගමයේ නායකයා පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය

යුද අපරාධ වාර්තාව කල් දැමීමට අදාළව 'ප්‍රධාන භූමිකාව' සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකා එක්සත් ජනපදය බව පෙළපාලියට එක්ව සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා චෝදනා කළේය. සැලසුම් කොට තිබු පරිදි මාර්තුවේ දී වාර්තාව එළි දක්වන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ජනවාරියේදී ඉල්ලා යවා ඇති බව ප්‍රකාශ කළ ඔහු එක්සත් ජනපද බලධාරීන් වෙත 'අපේ ජනතාවගේ හැඟීම් නැවත වතාවක් දන්වා සිටින,' බව මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

දෙමළ ජනතාව වර්තමානයේ මුහුණ පා සිටින හමුදාකරණය, ජනපදකරණය, අතුරුදහන්වීම් සහ අනීතික සිරගත කිරීම් ඇතුළු ගැටළු කිසිවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලනය කිසිදු ප්‍රමාණවත් පියවරක් ගෙන නැති බව, මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා වෙත යැවීම සඳහා උද්ඝෝෂකයන් විසින් සකස් කරන ලද සංදේශයේ දැක්වේ. රජයේ දින සියයේ වැඩ සටහනේ ඒ පිළිබඳ කිසිදු සඳහනක් හෝ නැති බවද එය පෙන්වා දෙයි.

රාජපක්ෂ විරෝධී ඡන්දයක්

'යුද්ධයේ ක්‍රියාකාරී වැඩ කොටසක් කළ පුද්ගලයන්ගෙන්ද සමන්විත වත්මන් රජයේ සංයුතියත්, යුක්තිය ඉටු කිරීමට අසමත්වූ දේශීය යාන්ත්‍රණ පිලිබඳ ඉතිහාසයත් ගත් කල,' මේ රජය විසින් පිහිටුවනු ලබන කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයක්  කෙරේ තම විශ්වාසයක් නැති බව සංදේශයේ ලියා තිබේ. රජය පිලිබඳ තම අවිශ්වාසය තව දුරටත් පලකරන විරෝධතා කරුවන් සංදේශයේ සඳහන් කොට ඇත්තේ 'ජනාධිපති සිරිසේන වෙනුවෙන් දෙමළ ජනතාව විශාල වශයෙන් ඡන්දය දුන් බව සත්‍ය වුවත්, එය හුදෙක් රාජපක්ෂ විරෝධී ඡන්දයක් අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු,' යනුවෙනි.

සිංහල සිසුන්

සැප්තැම්බරයේ ඉදිරිපත් කරන වාර්තාවක් වේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සාක්ෂි ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින මහජන සංදේශය මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා අත පත් කිරීම පිණිස මන්නාරම රදගුරු රායප්පු ජෝසප් හිමිපානන්ටත්, ශිව පූජක සංගමයේ නායක එස් වාසුදේව කුරුක්කල් තුමන්ටත් නල්ලුර් රැලියේදී භාර දෙන ලදී.

මහජන නියෝජිතයන්ට විරෝධතා පෙළපාලියට එක්වීම සඳහා ඉඩ සලසනු පිණිස උතුරු පළාත් සභාව අඟහරුවාදා රැස්වීම පැය දෙකක් කල් දමා තිබුණු අතර මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාට භාර දෙන සංදේශයට සිංහල සරසවි සිසුන්ද අත්සන් තබා තිබුණු බව වාර්තා වෙයි.☐

©  JDS