යුද අපරාද වාර්තාව කල් දැමූ එක්සත් ජාතීන් හමුවීමට දෙමළ නායකත්වය සැරසේ

ක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ සිදුකර ඇති විමර්ශන වාර්තාව ජිනීවාහි දී එළිදැක්වීම හය මසකින් කල්දැමීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලය සමග සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසයි. සන්ධානයේ ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට තිබුණේ මේ කල්දැමීම, දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳීමක් සෙවීම පසුබෑමකට ලක් කරන බවයි.

මාර්තුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත විමර්ශන වාර්තාව 'එක් වරක් පමණක්' කල් දමන්නට තීරණය කරන ලද බව බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් සඳුදා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සිදුවී ඇති වෙනසත්, වාර්තාව තවත් ශක්තිමත් කරමින් අලුත් තොරතුරු මතුවීමේ ඉඩකඩත් තමන් සැලකිල්ලට ගන්නා ලද බව ඔහු කියා සිටියේය. ඊට අමතරව, කලින් රජය මෙන් නොවී, 'වැදගත් මානව හිමිකම් සම්බන්ධ කරුණු මාලාවක්' පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව අලුත් ආණ්ඩුව විසින් 'අඟවා' ඇතැයි අල් හුසේන් කුමරු ප්‍රකාශ කරයි. එහෙත් ශ්‍රී ලංකා රජයේ සහයෝගය කවරාකාරදැයි ඔහු විසින් ප්‍රකාශයට පත් කොට නැත.

'හොඳ' තර්ක හා 'ශක්තිමත්' තර්ක

"යොදාගත් පළමු කාල සටහනට අනුව කටයුතු කිරීම වෙනුවෙන් හොඳ තර්ක ඉදිරිපත් වූ අතර, වාර්තාව තව ටික කාලයක් පමා කිරීම වෙනුවෙන් ශක්තිමත් තර්ක ද" ඉදිරිපත් වූ බව, මානව හිමිකම් මණ්ඩල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේය.

කිසියම් රටවල් සංඛ්‍යාවක් මෙම කල්දැමීම අනුමත කළේ නම්, එය කිසිසේත් පිළිගත නොහැකි බව ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. "යුක්තිය ඉටුකිරීම අවාසනාවන්ත අයුරින් කල්දමා තිබේ," යයි ඔහු පැවසීය. ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණි දකුණු හා මාධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් යුද අපරාධ වාර්තාව කල්දැමීමට ඇති ඉඩකඩ පිළිබඳ දෙමළ ජාතික සන්ධානය හා සාකච්ඡා කළ බව ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා 'කලම්බු මිරර්' වෙබ් අඩවියට පවසා තිබිණි.

යට ගැසීමේ පළමු පියවර

මෙය "වාර්තාව යට ගැසීමේ පළමු පියවර ලෙසින්, පරීක්ෂණ මණ්ඩලය වෙත තොරතුරු ලබා දීමට නිර්භීතව ඉදිරිපත් වූවන් ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පීඩාවට පත්වූවන් දකිනු ඇතැයි" තමන් හොඳාකාර දන්නා බව මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් පවසා තිබේ.

ඒ ගැන 'වරදවා වටහා නොගන්නා ලෙස' නිවේදනයෙන් ඉල්ලා සිටින මහ කොමසාරිස්වරයා, සැප්තැම්බරයේ වාර්තාව ප්‍රකාශයට පත් කරන බවට සිය 'පුද්ගලික හා අචපල කැපවීම', අවධාරණය කර තිබේ.

රටවල් හතලිස් හතකින් සැදුම්ලත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය, ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ පිළිබඳ චෝදනා විභාග කිරීමට යෝජනා සම්මත කරගත්තේ පසුගිය මාර්තුවේය. වසරක් තුළදී එහි වාර්තාව නිකුත් කිරීම සඳහා 2014 ජූනියේ පත්කරන ලද ත්‍රි පුද්ගල විශේෂඥ මණ්ඩලය සමන්විත වන්නේ හිටපු පින්ලන්ත ජනාධිපති මාර්ටි අහ්තිසාරි, නවසීලන්තයේ හිටපු ආණ්ඩුකාරිනී සිල්වියා කාට්රයිට් සහ පකිස්තාන මානව හිමිකම් කොමිසමේ සභාපතිනි අස්මා ජහන්ගිර් ගෙනි.☐

© JDS