යුද අපරාධ විමර්ශන වාර්තාව මාර්තුවේ හෙළි නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක්

දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරය පිලිබඳ චෝදනා ජාත්‍යන්තර විභාගයකට ලක් කොට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ට උතුරු පළාත් සභාව යෝජනා සම්මත කරගත් දාට පසුදින එක්සත් ජනපදයේදී ශ්‍රී ලංකාවේ රජය ඉල්ලා සිටියේ  යුද අපරාධ විමර්ශන වාර්තාව එක්සත් ජාතීන් හමුවට ගෙන ඒම කල් දමන ලෙසයි.

'සිද්ධීන්' පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට 'සුදුසු යාන්ත්‍රණ එකලස් කිරීමේ ක්‍රියාවලිය' අලුත් ආණ්ඩුව විසින් ඉදිරි සති කීපය තුලදී අරඹනු ඇති බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජනපද පාලනයට බලපෑම් කළහැකි ප්‍රභූ පිරිසක් අමතමින් පෙබරවාරි එකොලොස් වැනිදා වොෂින්ටනයේදී සහතික විය. එහිදී එක්සත් ජාතීන්ද, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයද හවුල් කරගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

සංක්‍රාන්ති සමයක්

ජාත්‍යන්තර සාමය සඳහා වන කානගී භාරය (Carnegie Endowment for International Peace) හමුවේ 'ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව' පිළිබඳ කතා කරමින් සමරවීර අමාත්‍යවරයා මානව හිමිකම් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටියේ 'බිඳෙන සුලු සංක්‍රාන්ති සමයක්' ගතකරන රජයට 'කාලය සහ අවකාශය' සලසා දෙන ලෙසයි. "ජාතික සංහිඳියාව සහ සුවපත් වීම, ආයතන පිහිටුවීම  සහ යළිත් සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැගීම සඳහා වන ගමනට සහාය වන අතරේ, අපට කාලය හා අවකාශය සලසා දෙන ලෙස ආයාචනා කරමි," යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව මාර්තු මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසියේදී එළි දැක්වීම වෙනුවට ආණ්ඩුවේ යෝජිත පරීක්‍ෂණය සඳහා ලබාදෙන ලෙසටද මංගල සමරවීර වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

"වාර්තාව නිම කළ පසු එය ක්‍රියාවට නැගීම සඳහා අපේ අභ්‍යන්තර යාන්ත්‍රණය ට යොමු කරනු ඇත යන්න අපේ බලාපොරොත්තුවයි," අමාත්‍යවරයා පැවසීය. වැඩිදුර පරීක්‍ෂණ සිදු කළ යුතු සිදුවීම් ගණනාවක් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) විසින් හඳුනාගෙන ඇති බවද විදේශ අමාත්‍යවරයා සිහිපත් කර දුන්නේය.

තවත් LLRC යක්

සමරවීර අමාත්‍යවරයාගේ වොෂින්ටන් ආයාචනයට පසුදින මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ  මහ කොමසාරිස්වරයාට සන්දේශයක් යවන දෙමළ සිවිල් සමාජ සංසදය (TCSF) 'තවත් LLRCයක් වෙනුවෙන් කාලය හා අවකාශය ලබාදීමට දෙමළ ජනතාව සුදානම් නැති,' බව පවසා තිබේ. ආණ්ඩුවට කාලය ලබා දීම මගින් සිදුවන්නේ 'තවදුරටත් කල් දැමීමෙන් නොනැවතී යුක්තිය ඉටුකිරීම සදහටම අතහැර දැමීමක්,' බව පවසන එම සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින්නේ  අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර තලයේ දඬුවම් පැමිණවීම සඳහා සියලු පියවර ගන්නා ලෙසයි.

ජෝන් කෙරී හමුව

කානගී භාරයේ දේශනයෙන් පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමග මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සංහිඳියා ක්‍රියාදාමයට 'ගෞරවනීය ස්ථානයක්' හිමි කර දෙන බවයි. මංගල සමරවීර පිළිගනිමින් රාජ්‍ය ලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කළ මැතිවරණ හැඳින්වුයේ, 'වඩාත් වගකීමෙන් බැඳෙන, මානව හිමිකම් සුරැකීමේ හැකියාවක් සහිත, නව දිසාවකට ශ්‍රී ලංකාව රැගෙන යාම සඳහා,'  ප්‍රකාශ කෙරුණු ඡන්දයක් ලෙසයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව දියත් වන වර්ග සංහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලන යෝජනාවක් සම්මත කරගත් උතුරු පළාත් සභාව අමතමින් මහ ඇමති සී වී විග්නේශ්වරන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලවතුන්ට ඇති උනන්දුව ගැන සැක පහල කර තිබුණි.

ජිනීවා මානව හිමිකම් සමුළුවට මාර්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත යුධ අපරාධ විමර්ශන වාර්තාව කල්දමා ගැනීම  අමෙරිකාවේද අපේක්‍ෂාව වනු ඇතැයි ශ්‍රී ලංකාවට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් හමුවීමෙන් අනතුරුව තමන්ට වැටහී ගිය බව  මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ විගස ප්‍රකාශයක් කරන හිටපු සාම සාකච්ඡා පහසුකරු එරික් සෝල්හයිම් ජාත්‍යන්තර බලකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ද, අලුත් ආණ්ඩුවට 'පොඩි ඉඩක්' දෙන ලෙස ය.☐

© JDS