'යුද්ධයෙන් පසු' විනාශ වූ උතුරේ සම්පත් සෙවීමට රජය සැරසේ

යුද කලාපයේ විනාශයට පත්වූ භෞතික සම්පත් පිලිබඳ සොයා බැලීමට රජය විසින් පිහිටවන ලද ඉහළම සර්ව පාක්‍ෂික මණ්ඩලය විසින් තීන්දු කොට තිබේ. ජාතික විධායක සභාවේ ප්‍රකාශක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ' යුද්ධයෙන් පසුව එම පළාත්වල විනාශයට පත්වූ වාහන, දේපල සහ රත්තරන් වලට,' සිදු වූයේ කුමක්දැයි 'පුළුල් විමර්ශනයක් කිරීම සඳහා ඒකකයක් පිහිටුවීමට,' ඔවුන් එකඟ වූ බවයි.

යුද සමයේදී සිදුවූ ජන ජීවිත විනාශය පිළිබඳව පිළිබඳව සොයා බැලීමට ජාතික විධායක සභාව කිසියම් තීරණයක් ගත්තේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ නො කළේය. දෙමළ බහුතරයක් වාසය කළ ප්‍රදේශවල විශාල ජීවිත හානියක් කරමින් ශ්‍රී ලංකාවේ රජය දියත් කළ යුද්ධයට ජනතා විමුක්ති පෙරමුණ ද සහාය දුන්නේය.

යුද්ධයේ අවසාන අධියෙර්දී නිරායුධ මිනිසුන් 75,000ක් පමණ මිය යන්නට හෝ අතුරුදහන් වන්නට අැතැයි දෙමළ ජාතික සන්ධානය මින් පෙර ප්‍රකාශ කොට ඇති අතර, මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් උගත් පාඩම් හා සංහිඳියා ජනාධිපති කොමිසම (LLRC) හමුවේ සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේ 1,46,000 කට වැඩි ජන සංඛ්‍යාවක් ආගිය අතක් නැති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන අනුව සාමාන්‍ය වැසියන්ගේ මරණ සංඛ්‍යාව 70,000ක් පමණ විය හැකිය.

අඩන්තේට්ටම්

පසුගිය කාලයේ සිදුවූ ' මිනිසුන් පැහැරගෙන යාම්, ඝාතන හා අඩන්තේට්ටම් වලට ලක්වුවන් පිලිබඳ පරීක්ෂණ පවත්වා,' ඒ සම්බන්ධ 'වැරදි කරුවන් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය වන ක්‍රමවේදයක්,' සකස් කිරීමටත් ජාතික විධායක සභාව ජනවාරි 20 වැනිදා තීන්දු කළ බව ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක තවදුරටත් ප්‍රකාශ කළේය.

දේශපාලන පක්‍ෂ වලින් මෙන්ම සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් කිරීමට දායක වූ බහුජන සංවිධාන කිහිපයකින්ද ජාතික විධායක සභාව සමන්විත වෙයි.

යුද අපරාධ චෝදනා පිළිබඳව පරාජිත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින්  අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය අනුව යමින් නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොරොන්දු වී ඇත්තේ කිසිදු දේශපාලන හෝ යුද නායකයකුට ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දීමට තමන් ඉඩ නොදෙන බවයි. යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා දේශීය පරීක්ෂණයක් ප්‍රමාණවත් වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.☐

© JDS