හමුදා නිළධාරීන් තව දුරටත් රාජ්‍ය තාන්ත්‍රික සේවයේ

රාජපක්‍ෂ රජය යටතේ විදේශ තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ ඥාතින් හා හිතමිතුරන් ආපසු ​සියරට කැඳවන බවට නව රජයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළ ද විදේශ සේවාවන් සදහා පත් කර ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් නැවත කැඳවීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව වාර්තා වේ. මේ ආකාරයෙන් රාජ්‍ය තාන්ත්‍රික සේවය සඳහා යොදවා ඇතියවුන් අතර යුද අපරාධ චෝදනා එල්ලව ඇති හමුදා නිළධාරීන් ගණනාවක්ද වේ.

මේ පිළිබඳව විදේශ අමාත්‍යංශ නිලධාරියෙකුගෙන් JDS  කළ විමසීමකදී  කියා සිටියේ හමුදා නිලධාරීන් නැවත කැඳවීමට ආණ්ඩුව මෙතෙක්​ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව​ ය. යුද, නාවුක හා ගුවන් හමුදාවන්හී හිටපු ප්‍රධානීන් මෙන්ම ජාත්‍යන්තර දෝෂ දර්ශනයට පාත්‍ර වූ සමූහ මිනිස් සංහාරයන් සිදුකළ යුද මෙහෙයුම් සඳහා නායකත්වය සැපයු හමුදා නායකයෝද මෙම තානාපති සේවාවන්හි නිරතව සිටිති. එසේ සේවයේ යෙදී සිටින හමුදා නිළධාරීන්ට හිමිවන තානාපති වරප්‍රසාද අතරින් එකක් වනුයේ විදේශයකදී දඩුවම් නොලබා සිටීමට ඉඩ ලැබෙන රාජ්‍ය තාන්ත්‍රික මුක්තියයි.

ශවේන්ද්‍ර ලංකාවට

විදේශ  තානාපති සේවාවන්වල ප්‍රධාන නිලයන්ට අමතරව බොහෝ උප නිලයන් සඳහා පත් කර ඇත්තේද හමුදා නිළධාරීන් ය. පැවති රජයේ ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව පත් කෙරුණු  මොවුන් වැඩිදෙනෙක් ඔහුගේ අනුගාමික නිළධාරීන් වශයෙන් සැළකේ. විශේෂයෙන් විදේශගත දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් මෙන්ම බලයේ පැවති ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මක මත දරන්නවුන් හා ඔවුන් අයත් සංවිධාන පිළිබඳව තොරතුරු රැස් කිරීම, මොවුන්ට පැවරී ඇති රාජකාරී අතුරින් ප්‍රධාන කාර්යයක් සේ සැළකුණි.

JDS වෙත වාර්තා වන පරිදි මේ වනවිට විදේශ රටවල තානාපති සේවයේ යෙදෙන ප්‍රධාන පෙලේ හමුදා නිළධාරීන් මෙසේ ය​:

හිටපු නාවික හමුදාපති අද්මිරාල්  වසන්ත කරන්නාගොඩ - තානාපති   ජපානය

හිටපු ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල්  ජයලත් වීරක්කොඩි - මහ කොමසාරිස් , පකිස්ථානය

හිටපු ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල්  ඩොනල්ඩ් පෙරේරා - තානාපති, ඊශ්‍රාලය

හිටපු යුද හමුදාපති   ජනරාල් ශාන්ත කොට්ටෙගොඩ - තානාපති, තායිලන්තය

හිටපු නාවික හමුදාපති  අද්මිරාල් තිසර සමරසිංහ - මහ කොමසාරිස්, ඕස්ට්‍රේලියාව

මේජර් ජනරාල් කමල් ගුණරත්න - නියෝජ්‍ය මහ කොමසාරිස්, දකුණු අප්‍රිකාව

මේජර් ජනරාල් ලලිත් දවුලගල - නියෝජ්‍ය  මහ කොමසාරිස්, මැලේසියාව

මේජර් ජනරාල් ජගත් අල්විස්  - තානාපති අමාත්‍ය, ඊශ්‍රාලය

මේජර් ජනරාල් ක්‍රිෂාන්ත සිල්වා - නියෝජ්‍ය තානාපති, රුසියාව

මේජර් ජනරාල් නන්දන උඩවත්ත - තානාපති අමාත්‍ය, රුසියාව

ලුතිනන් කමාන්ඩර් ජේ. කේ බණ්ඩාර - දෙවෙනි ලේකම්, ජපානය

බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන - දෙවෙනි ලේකම්, තුර්කිය

මේ අතර, යුද්ධයේ අවසන් මෙහෙයුම්වලදී සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති 58 වෙනි සේනාංකයට අණ දුන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරණයට පෙර යළි ශ්‍රී ලංකාවට ​කැඳවනු ලැබුණි. ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (National Defense Academy) හමුදා නායකත්ව පාඨමාලාවක් සඳහා මේජර් ජෙනරාල් සිල්වාගේ නම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා විසින් නිර්දේශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ‍මෙම කැඳවීම සිදුකළ බව වාර්තා වේ.☐

© JDS