රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් 'දූෂිතම මැතිවරණයක්'

නවාරි අට වෙනිදා පැවැති  ජනාධිපතිවරණය ඉතිහාසයේ දකින්නට ලැබුණු දූෂිතම මැතිවරණයක්  බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFFE) පවසයි. මේ දක්වා පැවති කිසිදු මැතිවරණයකදී යොදා නොගත් පරිදි රාජ්‍ය බලය හා සම්පත් එක් අපේක්‍ෂකයෙකුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් විවෘත හා නිර්දය ලෙස යොදාගැනීම මීට හේතු වශයෙන් ඔවුන් දක්වයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ඍජු දායකත්වය හා අනුග්‍රහය මත ජනාධිපතිවරණ සමයේ නීතියේ ආධිපත්‍යය බිඳවැටුණු බව පෙන්වා දෙන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රජිත කීර්ති තෙන්නකෝන් JDS වෙත ප්‍රකාශ කර සිටියේ බහුල වශයෙන් සිදුකළ මැතිවරණ නීති උල්ලංඝනය සේම රාජ්‍ය ආයතන හා ඉහළ රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණයේ කොටස්කරුවන් වීම සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් එල්ල කළ බව ය.

මැතිවරණය ප්‍රකාශයට පත්වූ පසු සාමාන්‍ය ඡන්ද දායකයන්ට හා රාජ්‍ය සේවකයන්ට විවෘත වරදාන සහ සහන සැලසීමට ද මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව කටයුතු කිරීම විපක්‍ෂයේ සියළු පක්‍ෂවල දෝෂ දර්ශනයට ලක් විය.  කැෆේ  සංවිධානය පෙන්වා දෙන්නේ පොලිසිය හා ආරක්‍ෂක හමුදා, වරාය අධිකාරිය, තරුණ සේවා සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම මානව හිමිකම් කොමිසම පවා ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණයට යොදාගත් බව ය. ඉහළ රාජ්‍ය නිලධාරීන් වන ආරක්‍ෂ ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් සහ මහ බැංකු අධිපති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ වේදිකාවට නැගීම බරපතල වරදක් බව පෙන්වාදෙන කැෆේ විධායක අධ්‍යක්‍ෂවරයා උතුරේ සිදු වූ බෝම්බ පිපිරීම් හා වෙඩි තැබීම්වලට හමුදා මැදිහත්වීම විසින් 'සාමකාමී' යැයි පවසන මැතිවරණය ගැන පබරපතල ප්‍රශ්න මතුකරන බවය.

පක්‍ෂග්‍රාහී මාධ්‍ය භාවිතය

මේ අතර, විද්‍යුත් හා මුද්‍රිත රාජ්‍ය මාධ්‍ය හිටපු ජනාධිපති රාජපක්‍ෂට වැඩි නැමියාවකින් කටයුතු කිරීම මැතිවරණයේ නිදහස් හා ස්වාධීනත්වයට බාධා වී යැයි ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව පෙන්වා දෙයි. පූර්ව මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය භාවිතය පිළිබඳව සමීක්‍ෂණ වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාවේ විධායක අධ්‍යක්‍ෂ එස් රනුක්ගේ පවසන්නේ රාජ්‍ය මාධ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මෙන්ම ජනමාධ්‍ය ආචාර ධර්මයන්ද බිඳදමා ඇති බවයි.

සමීක්‍ෂණයට ලක්කළ ලේක්හවුස් පුවත්පත් මගින් අපේක්‍ෂකයින්ගේ ප්‍රතිරූප නගාසිටුවීම වෙනුවෙන් වර්ග සෙන්ටිමීටර් 9979.03ක් වෙන්කළ ද, එය මුළුමනින්ම භාවිත කර ඇත්තේ හිටපු ජනාධිපති රාජපක්‍ෂ වෙනුවෙනි. ඒ අතර අපේක්‍ෂකයන්ගේ ප්‍රතිරූප බිඳ දැමීම වෙනුවෙන් වර්ග සෙන්ටිමීටර් 2654.03ක් වෙන්කර ඇත. එය මුළුමනින්ම යොදාගෙන ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා වූ, නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරෙහිව ය.

සමීක්‍ෂණයට ලක්කළ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය වන ගුවන් විදුලි සංස්ථාවට අයත් CITY FM සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයත් ලක්හඬ මඟින්, අවධානයට යොමුකළ  නියැදි කාලය තුළ සිය ප්‍රවෘත්ති විකාශනයන්හි හිටපු ජනාධිපතිවරයාට වෙන් කරන ලද ගුවන් කාලය විනාඩි 24කුත් තත්පර 36කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු අපේක්‍ෂකයාට විනාඩි 3යි තත්පර 36ක් ලබාදුන්නද, අනෙක් ජනාධිපති අපේක්‍ෂකයන් 17 දෙනා වෙනුවෙන් කිසිදු කාලයක් වෙන්කර නොතිබුණු බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් පෙන්වා දෙයි.

© JDS