'මා පරාජය කළේ උතුරු නැගෙනහිර හා වතුකරයයි' මහින්ද මැදමුලනේ දී කියයි

නාධිපතිවරණයේදී සිය පරාජයට හේතු වුයේ උතුරු නැගෙනහිර සහ වතුකරයේ ඡන්දදායකයන්  තමන්ට එරෙහි වීම යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි. ඡන්දයෙන් පැරදී සිකුරාදා සිය උපන්ගම වන මැදමුලන බලා ගිය ඔහු පිළිගැනීමට රැස්ව සිටි ආධාරකරුවන් අමතා කතා කරමින් කියා සිටියේ තමන් මෙම මැතිවරණයෙන් පරාජය නොවූ බව ය.

'උතුරු නැගෙනහිරින් ආ ඡන්ද ප්‍රමාණයත් වතුකරයෙන් ආ ඡන්ද ප්‍රමාණයත් නිසා තමයි අපි පරාද' ඔහු පැවසුවේය.

පාලන කාලය හමාරවීමට පළමු තුන්වැනි වතාවටත් බලයේ සිටීම වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වූ මහින්ද රාජපක්ෂ පරදවා මෛත්‍රිපාල සිරිසේන ජයගත්තේ හාර ලක්ෂ පනස් දහසකට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයකිනි. එහිදී සාතිශය බහුතර ඡන්දයකින් පැහැදිලි ජයක් ඔහුට අත් කර දුන්නේ දෙමළ මුස්ලිම් ජනතාව බහුල උතුරු නැගෙනහිර යි.

උතුරු නැගෙනහිර දිස්ත්‍රික් පහේම සියයට හැත්තෑවකට වැඩි පිරිසක් හිටපු ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා ඡන්දය දී ඇති අතර සිංහල බහුතරයක් වෙසෙන දකුණේ දිස්ත්‍රික්ක 17 කම සියයට පනහකට වැඩි දෙනකු ඡන්දය දී ඇත්තේ මහින්ද රාජපක්ෂට ය.

මහින්ද රාජපක්ෂ පරදවා ජයගත් මෛත්‍රිපාල සිරිසේනට සුබ පතමින් නිකුත් කළ නිවේදනයක් මගින් දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝධයම් සම්බන්ධන් පවසා ඇත්තේ, රට මුහුණ පා සිටින බරපතල ප්‍රශ්න ගණනාවකට ඉදිරිපත් කිරීමට සිදුවන විසඳුම් අතරට 'ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ උරුමක්කාරයන් වීමට ඉඩ සලසනු පිණිස ජාතික ප්‍රශ්නයට ගෞරවණීය විසඳුමක්,'  ලබා දීමත් ඇතුළත් වන බවයි.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීම නව ජනාධිපතිවරයා විසින් කඩිනමින් ඉටු කළ යුතු කාරියක් බව දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය වැඩි දුරටත් පවසා තිබේ.

මෛත්‍රිපාල සිරිසේන උතුරු නැගෙනහිර ලබාගත් ඡන්ද ප්‍රතිශතය 73.50% කි. තමන් ජයගත් ඉතිරි දිස්ත්‍රික්ක හත ද ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ඔහුට ඡන්දය දී ඇත්තේ 48.54% ක් පමණි. වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50.45% ක් ලබා දකුණ දිනා ඇති මහින්ද රාජපක්ෂට උතුරු නැගෙනහිරින් 24.32% ක් ඡන්දය දී තිබේ.

උතුරු නැගෙනහිර බහුතර ඡන්ද ප්‍රතිශතයකින් තමන් බලයට පත්වූ බව නව ජනාධිපතිවරයා අමතක නොකරනු ඇතැයි විශ්වාසය පල කළ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා JDS සමගින් කියා සිටියේ ඒ ඡන්ද දායකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමේ වගකීමක් මෛත්‍රිපාල සිරිසේන  සතු බවයි.

යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූවන් නැවත පදිංචි කිරීම, ඉඩම් කොල්ලය නැවත්වීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වුවන් සොයා දීම හා යුද හමුදාව උතුරු නැගෙනහිර ගම්බිම්වලින් ඉවත් කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

හමුදාව ඉවත් නොකළොත් උතුරු නැගෙනහිරට ප්‍රජාතන්ත්‍රවාදය ළඟාවීමේ මාවත වැසී යන බව කී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,  එයම රට තුල යහ පාලනය තහවුරු කිරීමේ දින සියයේ වැඩ පිළිවෙළට බාධාවක් වන බව අවධාරණය කළේය.

නව ජනාධිපති වරයා යටතේ පිහිටුවනු ලබන රජයකට හවුල් වීමට ආරාධනා ලැබුණොත් ඒ ගැන සලකාබලන බවත් මේ අතර දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් ජනමාධ්‍ය කළ විමසීමකදී පවසා තිබුණි.

මේ අතර, නව ජනාධිපතිවරයා 'සුළු ජාතීන්ගේ අවශ්‍යතා හා සුභසාධනය නොතකා හරිනු නැතැ,'යි උතුරේ මහ ඇමැති වරයා විශ්වාසය පල කළේය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන මහ ඇමැති සී වී විග්නේස්වරන් පවසා ඇත්තේ, 'ආගමික උන්මාදයෙන් පෙලෙන්නන් ගේ ප්‍රහාර වලට ලක්වූ මුස්ලිම් ජනතාව ට ආරක්ෂාව සපයා ඔවුන්ගේ බිය තුරන් කිරීමේ වගකීමක්,' ජනාධිපති වරයා සතුව ඇති බවයි.

© JDS