'සාමකාමී' මැතිවරණයේ උතුරේ බෝම්බ, යුද අනාථයන්ට බාධා

තුරේ බෝම්බ පිපිරීම් දෙකක් මැද  සියයට හැටකට අධික පිරිසක් ඡන්දය පාවිච්චි කර ඇත.

රට පුරා සියයට හැත්තෑවකට අධික ඡන්දදායකයන් රටේ ඊළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට ඡන්දය දුන් ජනවාරි අටවැනිදා පළමු බෝම්බය පුපුරා ගියේ පේදුරු තුඩුවේ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි. එම ආයතනය වාර්තා කරන පරිදි මුස්ලිම් ව්‍යාපාරිකයකු ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයක් බේරුවලදී සිදුවූ අතර, තුන්වැනි ග්‍රෙනේඩ් බෝම්බය පුපුරා ඇත්තේ වවුනියාවේදී ය. මේ ප්‍රහාර වලින් කිසිවකුටත් තුවාල වූ බව වාර්තා වී නොමැත.

උතුරේ වැඩිම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව වාර්තා වන්නේ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලිනි. සමස්තයක් වශයෙන් උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 2010 ජනාධිපතිවරණයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. රටේ වැඩිම සංඛ්‍යාවක් ඡන්දය දමා ඇත්තේ පොළොන්නරුව සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක වලිනි. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ජනාධිපතිවරණයට තරග වදින අවස්ථාවක සිංහල මනාපය මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන අතර බෙදී යන මෙම මැතිවරණයේදී සංඛ්‍යාත්මකව සුළුතර ජාතීන්ගේ ඡන්ද තීරණාත්මක බව විශ්ලේෂක මතයයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට පියවර ගන්නා මෙන් දෙමළ ජාතික සන්ධානයත්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණත් උතුරේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටිද්දී, දෙමළ ජාතික සන්ධානයේ මුල් පෙලේ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙපලක් සමග එහි ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිලරසු කච්චියේ තරුණ ව්‍යාපාරයත්, දෙමළ සිවිල් සමාජ සංසදයත්, දෙමළ ජාතික ජනතා පෙරමුණත් ප්‍රකාශ කළේ, සිංහල දේශපාලනය කෙරේ පමණක් උනන්දුවක් දක්වන  අපේක්ෂකයකුට සහාය දීමෙන් දෙමළ ජනතා අභිලාෂයන් ඉටු කර ගත නොහැකි බවයි.

බලෙන් බස් නවතයි

මන්නාරමේ ලියාපදිංචි යුද අනාථයන් දස දහසකගේ පමණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව වළක්වාලන ලද බව සමස්ත ලංකා ජනතා කොන්ග්‍රස් නායක රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා මේ අතර චෝදනා කරයි. පුත්තලමේ අනාථ කඳවුරුවල සිටින මුස්ලිම් ඡන්ද දායකයන් ඡන්දය දැමීම සඳහා  මන්නාරමට ගෙනයාමට පැමිණි බස්රථ පළාතේ 'දේශපාලන බලවතකු' විසින් බලහත්කාරයෙන් නවතාලන ලද බව හිටපු අමාත්‍යවරයා පවසයි.

බස් ගමනාගමනය සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරුණු පුත්තලම අනුරාධපුර මාර්ගය හරහා ටයර් සහ කොටන් දමා මග හරස් කොට තිබුණු බව රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළේය.

අටවැනිදා හවස හතරට ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් කෙරුණු අතර තැපැල් ඡන්ද ගණන්කිරීම මේ වනවිට ඇරැඹී ඇති බවත්, මුල්ම ප්‍රතිඵලය ලංකාවේ වේලාවෙන් රාත්‍රී දහයට පමණ ප්‍රකාශ කරන්නට හැකිවනු ඇති බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

© JDS