යුද්ධයෙන් දෙමළ ජනයා මරා දැමුණු බව ආණ්ඩුව උතුරේදී පිළිගනී

කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී නිරායුද දෙමළ ජනතාව විනාශයට පත් කරන ලද බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ උතුරේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැලියේදී රජය විසින් පිළිගනු ලැබ තිබේ.

යාපනයේ දී මහින්ද රාජපක්ෂ සහභාගි වූ අවසන් රැලියේදී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය පාර්ලිමේන්තු  කාරක සභා සභාපති  මුරුගේසු චන්ද්‍රකුමාර් පවසා සිටියේ යුද්ධයේදී උතුරේ දෙමළ ජනතාව සමුහ ඝාතනයන්ට ලක් කෙරුණු බවයි.

"යුද්ධයේ අවසාන කාලයේදී ඊට නායකත්වය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන බව දෙමළ ජනතාව තේරුම් ගත යුතු" යැයි යාපනයේ දුරේඅප්පා ක්‍රීඩාංගනයේ දී මහින්ද රාජපක්ෂට සහාය පිණිස ජනවාරි දෙවැනිදා පවත්වන ලද රැස්වීමේදී පොදුජන එක්සත් පෙරමුණු රජයේ ප්‍රධාන හවුල්කාර දෙමළ පක්ෂය වන ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ (EPDP) මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ එම මනුෂ්‍ය සංහාරය සිදුකළ යුද්ධයට හමුදා නායකත්වය ලබා දුන් සරත් ෆොන්සේකාගේ සහාය ලබන්නේත් මෛත්‍රීපාල සිරිසේන බව ය.

වැඩ බලන ආරක්‍ෂක ඇමති

2009 මැයි මාසයේ එල්ටීටීඊ ය හමුදාමය ලෙසින් පරාජය කළ යුද්ධයේ අවසාන දින කිහිපය තුළ ආරක්‍ෂක අමාත්‍යංශයේ වැඩ බලමින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ට අණ දුන්නේ තමන් බව හිටපු අමාත්‍ය සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරයේදී පපසුගියදා ප්‍රකාශ කළේය.

නිවේදකයා කිහිප වරක් ඉල්ලා සිටියත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ වේදිකාවට පැමිණෙද්දී අත්පොලසන් දීමට මැලි කමක් දැක්වූ සහභාගී වූවන්ගෙන් ඊපීඩීපී මන්ත්‍රීවරයා අසා සිටියේ කොටි සංවිධානය දෙකඩ කිරීමට සාම ක්‍රියාදාමය ප්‍රයෝජනයට ගත් රනිල් වික්‍රමසිංහගේ සහාය ලබන මෛත්‍රීපාල සිරිසේනට දෙමළ ජනතාව ඡන්දය දිය යුතුද යන්න ය.

ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ විශාල භූමි ප්‍රමාණයක් අල්ලා ගන්නේ ලද්දේ තමන්ගේ පාලන සමයේ බව පවසන චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ඒ හා සමානවම දෙමළ ජීවිත හානියේ වගකීම භාර ගත යුතු බව එම් චන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

'මානුෂික මෙහෙයුමක්'

ලංකාවේ යුද්ධයේදී අඩුම වශයෙන් 70,000 නිරායුධ ජනතාව ඝාතනයට ලක්වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන තිබෙන අතර 146,000ක් ඉක්ම වූ ප්‍රමාණයකට කුමක් සිදු වී දැයි නොදන්නා බව මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් හෙළි කළේය.

තමන් උතුරේ ගෙන ගිය යුද ප්‍රහාර මානුෂික මෙහෙයුමක් බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා රජය දිගින් දිගටම අවධාරණය කරන ලද්දේ එක සාමාන්‍ය වැසියකු හෝ මරා නොදැමූ බව ය. සාමාන්‍ය ජනයාට එරෙහිව පොකුරු බෝම්බ ඇතුළු භාවිතයට තහනම් අවි ආයුධ හා බර අවි ප්‍රහාර යොදා ගත් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් මේ දක්වා නගන ලද චෝදනා ආණ්ඩුව දැඩි සේ ප්‍රතික්‍ෂේප කොට තිබේ.

© JDS