අන්තවාදී බෞද්ධයන්ගෙන් 500ට වැඩි අන්‍යාගමික විරෝධී ප්‍රහාර

ශ්‍රී ලංකාව තුල මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කොට පසුගිය අවුරුදු දෙක තුලදී ප්‍රචණ්ඩ ප්‍රහාර පන්සියකට අධික සංඛ්‍යාවක් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සාමකාමී හා නිදහස් ලෙස පැවැත්විය යුතු බවට ඉල්ලා සිටින මුල් පෙළේ ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා නගා ඇත්තේ අන්තවාදී මත දරන බෙදුම්වාදී සංවිධාන වලටයි.

350 කට වැඩි ප්‍රහාර මුස්ලිම්වරුන්ටත් , 150 කට වැඩි ප්‍රහාර ක්‍රිස්තියානි භක්තිකයන්ටත් ,එරෙහිව සිදුකොට ඇතැයි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් මහ ලේකම් බෑන් කීන් මුන් පවසා ඇත්තේ ජනාධිපතිවරණය පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

ජි . එල් පීරිස්

මෑතකදී ඉහල ගොස් තිබෙන මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා රට බෙදීමේ අනතුරක් ඇතැයි පවසන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමල් ෂර්මා ද ඉල්ලා ඇත්තේ සාමකාමී සහ විශ්වාසනීය ජන්දයක් පවත්වන ලෙසය.

විදේශ අමාත්‍ය ජි .එල් පිරිස් සමග පසුගිය සතිය තුල දුරකථන සංවාදයකදී  සුළුතර ප්‍රජාවන්ද සහිත සකල විධ ශ්‍රීලාංකික ජන්දදායකයන් බියෙන් තොරව මැතිවරණ ක්‍රියාදාමයට ඇතුලත් කර ගැනීමේ වැදගත්කම තමන් ප්‍රකාශකර සිටි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසයි.

ශ්‍රී ලංකාව ද වගකීමෙන් බැඳෙන ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සම්බන්ධ ප්‍රකාශණයට පොදු රාජ්‍ය මණ්ඩලීය අත්සන් තබා ඇති බව පෙන්වාදෙන මහ ලේකම් ෂර්මා පවසන්නේ මැතිවරණයකදී පළවන ජනතාවගේ නිදහස් මතය ආණ්ඩුවේ සහ අධිකරණයේ සුජාත භාවයට පදනම සපයන බවය. එම ප්‍රකාශනයේ සම්මතයන්ට අනුකුලව ජනාධිපතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා ගයනාවේ හිටපු ජනාධිපති භරාට් ජග්දියේ (Bharrat Jagdeo) ගේ නායකත්වයෙන් යුතු නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජනවාරි දහ වෙනිදා සිට පහළොස් වෙනිදා දක්වා ශ්‍රිලංකාවේ ක්‍රියාත්මක බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා වැඩි දුරටත් පවසයි.

ඇඟිලි ගැසීමක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා මැතිවරණය සම්බන්ධයෙන් කළ ඉල්ලීම දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් ආණ්ඩුව එය හඳුන්වා ඇත්තේ 'අනිසි විදේශික ඇඟිලි ගැසීමක්' ලෙසිනි.

'සාමකාමී සහ විශ්වසනීය ඡන්දයක්' පැවැත්වීම කෙරේ මහලේකම් වරයා පලකළ අපේක්ෂාවට පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය බලවත් අප‍්‍රසාදය දක්වන බව දෙසැම්බර් 31 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඉතා සැක සහිත ප්‍රෝඩා මැතිවරණ පවත්වන කිසිම රටක මැතිවරණයක් ගැන උපදෙස් දීමට මහ ලේකම්වරයා නොගිය බව පවසන ආණ්ඩුව 'ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් ගැන මහඟු වාර්තාවක් තබා ඇති ශ‍්‍රී ලංකාවට සාධාරණ මැතිවරණ ගැන උපදෙස් දීම හාස්‍ය ජනක' බව සඳහන් කරයි.

සුළුතර ආගමිකයන්ට පහරදීම් පිලිබඳ ප්‍රකාශය සාවද්‍ය එකක් බව ප්‍රකාශ කරන රජයේ නිවේදනය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වී ගතවූ සති හය තුල,'මුස්ලිම්වරුන්ට හෝ ක‍්‍රිස්තු භක්තිකයින්ට එල්ල වූ ප‍්‍රහාරයක් පිළිබඳව යම් තොරතුරක් මහ ලේකම්වරයා අත තිබේ නම්' හෙළි කරන ලෙස අභියෝග කරයි.

© JDS