ජනාධිපතිවරණයේ දී පැත්තක් ගැනීම ගැන දෙමළ පක්‍ෂ ඇතුළෙන් විරෝධය

හින්ද රාජපක්ෂට එල්ලවී ඇති ප‍්‍රබලම අභියෝගය සේ සැලකෙන මෛත‍්‍රිපාල සිරිසේනට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය දීමට පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ගත් තීන්දුවට, පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධය එල්ලවී තිබේ.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛති‍්‍රපාල සිරිසේ හට සහාය දීමට තින්දු කිරීම වරදක් බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රීවරු කණ්ඩායමක් ප‍්‍රකාශ කළහ. ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් ලැබෙන තුරු දකුණේ දේශපාලනයට හවුල් වීමෙන් දෙමළ ජනතාවට කිසිදු ප‍්‍රයෝජනයක් අත් නොවන බව එම් කේ සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා කියා සිටියේ ය.

ජනවාරි තුන් වැනිදා යාපනයේ දී මාධ්‍යවේදීන් අමතමින් පළාත් සභා මන්ත‍්‍රී සිවාජිලිංගම් සඳහන් කළේ ඉදිරියේ ගොඩනැෙඟන කිසිදු ජාතික ආණ්ඩුවකට දෙමළ ජාතික සන්ධානය හවුල් විය යුතු නැති බවයි.

උතුරු පළාත් සභා මැතිවරණයේ දී දෙවැනියට වැඩිම මනාප ගෙන ජයගත් ආනන්දි සසිදරන් මන්ත‍්‍රීවරිය ද මාධ්‍ය හමුවට සහභාගී වූවා ය. ඇය විසින් ප‍්‍රකාශ කොට තිබුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එකම මුල්පෙළ අපේක්ෂකයකු හෝ වෙනුවෙන් ආත්ම ගරුත්වයක් ඇති කිසිදු දෙමළ ජාතියකයකු ඉදිරිපත් නොවනු ඇති බවයි.

ජනතාව දරන මතය වෙනස් කිරීම තම අභිප‍්‍රායය නොවන බව ප‍්‍රකාශ කළ සිවාජිලිංගම් මත්ත‍්‍රීවරයා, ‘ජනාධිපතිවරණයෙන් කවුරු ජයගත්තත් යුද අපරාධ පිළිබඳ විමර්ශණයක් කරන තුරු නොනැවතී පෙරට යන බව සඳහන් කළේ ය.

තරුණ ව්‍යාපාරය

මේ අතර උතුරේ මුල්පෙළේ පුරවැසි එකතුවක් මෙන් ම දෙමළ ජාතික සන්ධානය සැදුම්ලත් ප‍්‍රධාන පක්ෂයේ තරුණ වයාපාරය ඇතුළු දේශපාලන සංවිධාන ද දකුණින් එන ඉදිරි පෙළේ අපේක්ෂකයන්ට ඡන්දය දීම පිළිබඳව විරෝධය පා සිටිති.

ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කර ඇති ජනාධිපති විධායක බලතල අඩු කිරීමත්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් නැවත ස්වාධීන කොමින් සභා පිහිටුවීමත්, නීතියේ ආධිපත්‍යය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමත් සඳහා වන යෝජනා තමන් ‘හදවතින්ම භාරගන්නා’ බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් මඟින ප‍්‍රකාශ කොට තිබේ. ‘සමානාත්මතාව, සාධාරණය හා ගෞරවණීය අභිමානය’ සියලූ රටවැසියන්ට එමඟින් උදාවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද දෙමළ ජාතික සන්ධානය පවසයි. මෛත‍්‍රිපාල සිරිසේන හට සහාය පළකරමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්දසංගරී පවසා තිබුණේ වර්තමාන පාලනය දෙමළ ජනතාවගේ කිසිදු ගැටළුවක් සමබන්ධයෙන් විසඳුමක් ලබා දී නැති බවයි.

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කරු වන ඉලංගෙයි තමිලරසු කච්චි පක්ෂයේ නායකත්වය විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් එහි තරුණ ව්‍යාපාරය විරොධය පළකොට තිබේ. ජාතික හෙළ උරුමය වැනි බලය බෙදීමට විරුද්ධ පක්ෂයක් සමඟ සන්ධාන ගතවී සිටින මෛත‍්‍රිපාල සිරිසේන දිනවීමෙන් දෙමළ ජනයාට හැට වසරක් තිස්සේ සටන් කළ කිසිදු අයිතියක් දිනාගත හැකිවේදැ’යි ඉලංගෙයි තමිලරසු කච්චි පක්ෂයේ තරුණ ව්‍යාපාරයේ නායක වී එස් සිවකරන් ජනමාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රශ්න කළේ ය.

දෙමළ සිවිල් සමාජ සංසදය

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් පිළිබඳ අවිශ්වාසය පළකරන දෙමළ සිවිල් සංවිධාන සංසදය (TCSF) පවසන්නේ වර්තමානයේ සිංහල ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමේ හේතුව වී ඇත්තේ සිංහල ආණ්ඩු විසින් පවත්වාගෙන ආ දෙමළ විරෝධී දේශපාලය බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේ තරග වදින ප‍්‍රධාන අපේක්ෂකයන් අතරින් කවරකු ජයගත්තත්, දෙමළ ජනතාවට පලක් නොවන බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරන දෙමළ සිවිල් සමාජ සංසදය පවසා ඇත්තේ තමන් සිංහල ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව නොසිටිතැ’යි එයින් අදහස් නොවන බවයි. කෙසේ වෙතත්, වරින් වර බලයේ සිටි සිංහල ආණ්ඩු ක‍්‍රියාවේ යෙදවූ දෙමළ විරෝධී න්‍යාය පත‍්‍රය පසෙකට වී හිඳිමින් අනුමත කිරීමේ පලවිපාක ලෙසින් සිංහල ජනතාව අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වීමෙන් පීඩා විඳින බව TCSF ප‍්‍රකාශක එලිල් රාජන් විසින් මාධ්‍ය වෙත ලබාදී ඇති ප‍්‍රකාශනයේ සඳහන් වෙයි.

සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා මඟ වැටී ඇත්තේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් යුක්ති සහගත ස්ථාවරයක් ගෙන ගොඩනඟන්නා වූ පුළුල් කතිකාවකින් පමණක් බව පෙන්වා දෙන එම ලියැවිල්ල ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය වෙත යා හැකි කෙටි මාවත් හෝ විකල්ප හෝ නොමැති වග සිංහල ජනතාවත් ඔවුන්ගේ නායකයනුත් වටහාගත යුත බව අවධාරණය කරයි.

දෙමළ වර්ග සංහාරය

දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරය උපරිම ලෙස ක‍්‍රියාත්මක කළ පාලකයා වූයේ මහින්ද රාජපක්ෂ බව පවසන TCSF, ඔහුට අභියෝග කරන මෛත‍්‍රිපාල සිරිසේන දේශපාලන විසඳුමක් සහ යුද අපරාදවල වගකීම පිළිබඳව දරන මතය ද ඊට වෙනස් නොවන බව පෙන්වා දෙයි. ජාතික හෙළ උරුමය සමඟින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම අනුව මෛති‍්‍රපාල සිරිසේන විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ගන්නා පියවරින් ඔබ්බට ගොස් ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමටත්, යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදීමටත් සපථ කොට ඇති බව ද ඔක්‍ීත්‍ පෙන්වා දෙයි. 

උතුරු නැගෙනහිර දෙමළ පුරවැසි ක‍්‍රියාධාරීන් සිය ගණනකින් සැදුම් ලත් දෙමළ සිවිල් සමාජ සංසදය, සිය අරමුණ ලෙස දක්වා ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාදයක් සඳහා රටේ උතුරු නැගෙනහිර අවකාශයක් ප‍්‍රතිෂ්ටාපනය කිරීමයි.

මේ අතර දෙමළ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රකාශ කොට ඇත්තේ ඉදිරි පෙළ අපෙක්ෂකයන් දෙදෙනාගෙන් කිසිවකුටත් දෙමළ ජනතාව සහාය නොදිය යුතු බවයි.

යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ එම පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසුවේ චීනයත්, රුසියාවත් රාජපක්ෂට සහාය දෙන අතර ඇමරිකා එක්සත් ජනපදයත්, බොහෝවිට ඉන්දියාවත් සිරිසේනට පිටුබලය සපයන බවයි.

රාජපක්ෂ සහ සිරිසේන යන අපේක්ෂකයෝ දෙදෙනම මේ වනවිට උතුරේ ප‍්‍රචාරක රැලි පවත්වා ඇති අතර, එහි පිහිටි ප‍්‍රධානතම කතෝලික දේවස්ථානය වන මඩු සිද්ධස්ථානයේ දී මන්නාරම රදගුරු රායප්පු ජෝශප් වෙතින් ආශිර්වාද ලැබූහ.

© JDS