ත්‍රස්ත චෝදනා මත රඳවා සිටින අන්තරේ සිසුන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක්

කිත්සිරි විජේසිංහ විසිනි


ණ්ඩුවට විරුද්ධව විරෝධතා පැවැත්වීමේ අයිතිය පාවිච්චි කිරීම හේතුවෙන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා නගා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රැඳවුම් භාරයට පත් කළ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ඒ මගින් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දුවක් ලබාදෙන්නැයි සිකුරාදා (26) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුකරන ලද පෙත්සමක් මගින් ඉල්ලා තිබේ.

අවිශිබම කැඳවුම්කරුට අමතරව අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍ය අංශයේ අවසන් වසර සිසුවකු හා ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත ගුණතිලක යන ක්‍රියාකාරිකයන් ද ත්‍රස්ත පනත යටතේ දින 90ක් තබා ගැනීමට අවසර දෙන රැඳවුම් නියෝගයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ අත්සන් තබනු ලැබුණි.

අවිශිබම කැඳවුම්කරු වෙනුවෙන් නීතීඥ මංජුල බස්නායක විසින් ගොණුකරන ලද මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයාත්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාත් අතුළු පුද්ගලයන් සය දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

"වසන්ත මුදලිගේ වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගිය සතියේ ගොණුකළ ආකාරයටම අඟහරුවාදා (30) දිනයේදී හෂාන් හා සිරිධම්ම හිමියන් වෙනුවෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කිරීමට අපි ක්‍රියාකරගෙන යනවා" අත් අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් වෙනුවෙන් අවශ්‍ය නීතිමය සහාය සපයන නුවන් බෝපෙගේ සඳුදා දින (29) ජේඩීඑස් වෙත පැවසීය.

"මේ වනවිට වසන්ත මුදලිගේ සහ හෂාන් ජීවන්ත මේ වනවිට නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබෙනවා. ගල්වැව සිරිධම්ම හිමි තවම තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙනයි ඉන්නේ"යි හේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය 18 වැනි දින කොළඹ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයක් අතරතුරදි අත්අඩංගුවට ගැණුනු අවිශිබම කැඳවුම්කරු මුදලිගේ සහ හෂාන් යන දෙදෙනා එදිනම පැළියගොඩ මූලස්ථාන පොලිසිය වෙතත්, ගල්වැව සිරිධම්ම හිමි තලංගම පොලිස්ථානය වෙතත් රැගෙන ගොස් රඳවා තබා ගෙන තිබුණි. පසුව මොවුන් තිදෙනාම පැය 72 ක රැඳවුම් භාරයකට යටත් කරන ලද අතර ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තුන් මාසයක කාලයක් රැඳවුම් භාරයකට පත් කරනු ලැබුණේ යට කී පැය 72 ක රැඳවුම් කාලය අවසන් වීමත් සමඟම ය.

රැඳවුම් නියෝග ලබාගැනීමෙන් පසු පළමුව ත්‍රස්ත විමර්ශන ඒකයෙන් තංගල්ල පැරණි බන්ධනාගාරයට මාරු කර යවනු ලැබූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් මුණගැසීමට පසුගිය සතියේ එහි ගිය ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් බෝපෙගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව කිසිදු අවස්ථාවක අත්‍යවශ්‍ය නීතිමය ආධාර සැලසීම වෙනුවෙන් හෝ සිසුන්ව මුණ ගැසීමට නීතිඥවරුන්ට පවා අවස්ථාවක් ලබා නොදුන් බවට ද චෝදනා කර සිටියේය.

දෙස් විදෙස් මානව හිමිකම් කණ්ඩායම්වල හෙළාදැකීමට පාත්‍රව ඇති ත්‍රස්ත මර්දන පනත යටතේ පැවරෙන බලතල ප්‍රකාරව 21 වන ඉරිදා අදාළ රැඳවුම් නියෝගයට ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අත්සන් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් තහවුරු කරනු ලැබුණි.

රනිල් වික්‍රමසිංහ බලයට පත්වී මාසයක් ගතවීමත් සමගම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්සන් තැබූ පළමු රැඳවුම් නියෝගය වන්නේ මෙයයි.

පැය 72 න් දින 90

"අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව ප්‍රකාශ කළද අත්අඩංගුවට පත්ව පැය 72 ක් යන තුරු කිසිදු රැඳවුම් නියෝගයක් ඔවුන් වෙත භාර දී නොතිබුණි. තවද ඔවුන් වෙත නීතිඥවරුන්ට සහ ඥාතීන්ට ප්‍රවේශ වීමද අහිමි කර ඇත" යනුවෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත පසුගිය 22 දින ලිපියක් යොමු කර තිබූ නීතිඥ බෝපෙගේ එයින් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ රැඳවුම් නියෝගයන් නිකුත් කර තිබේ නම් එයින් පිටපත් තමන් වෙත ද ලැබීමට සලස්වන ලෙස ය.

නමුත් නිතීඥවරයා වෙත එයට පිළිතුරු ලිපියක් යොමු කරන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨශයේ අධ්‍යක්ෂකවරයා පවසා තිබුණේ "නීතිඥවරයා හමුවීමට සැකකාර සිසුන්ට අවශ්‍යතාවයක් තිබේද යන්න" විමසිය යුතුව ඇති බව යයි.

කවර හෝ නියෝගයක් යටතේ අත්අඩංගුවට ගන්නා ඕනෑම සැකකරුවකුට නීතිඥවරයකු හමුවී නීතීඥ සහාය ලබා ගැනීමට ඇති අයිතිය සහතික කොට තිබෙන අතරම, එය රටේ ඉහළම නීතිය බව පැවසෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ත්‍රස්ත මර්දන පනත යටතේ ද අහිමි කළ නොහැකි අයිතියක් ලෙස සඳහන්ව තිබේ.

නීතිඥවරුන්ගෙන් සඟවලා

අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ එම සංවිධානයේ ශිෂ්‍ය ක්‍රියාධරයකු වන හෂාන් ජීවන්ත ගුණතිලකත්, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර ගල්වැව සිරිධම්ම හිමිත් පැලියගොඩ මූලස්ථාන පොලිසියේ සහ තලංගම පොලිස්ථානයේ රඳවා තබා ගෙන සිටි දින තුනක කාලය මුළුල්ලේම ඔවුන් තිදෙනා අවස්ථා කිහිපයකදීම පොලිස් ස්ථානවලින් පිටතට රැගෙන ගොස් තිබුණු බව ශිෂ්‍ය ක්‍රියාකාරිහු පවසති. එමෙන්ම ඔවුන් පිළිබඳව තොරතුරු විමසීමේදි නීතිඥවරුන්ට, පවුලේ ඥාතීන්ට හෝ මානව හිමිකම් ක්‍රියාකාරින්ට හෝ කිසිදු තොරතුරක් ලබා නොදුන් බව ද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරුවන ටෙරන්ස් අන්ජන රොද්‍රිගෝ ජේඩීඑස් හා පැවසීය.

"මේක සාමාන්‍ය අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි. තනිකරම නීතියෙන් බාහිරව බලහත්කාරය යොදාගෙන කරපු පැහැර ගැනීමක්"යි හේ කියා සිටියේය.

ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් ක්‍රමන්ත්‍රණකරුවන් හා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම අනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියේය.

"මේ බලහත්කාරයෙන් අත්අඩංගුවට අරන් ත්‍රස්ත පනත යටතේ හිරකරන් ඉන්නේ රටේ ජනතාවගේ බඩ ගින්න වෙනුවෙන්, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, අවුරුදු තුනක් තිස්සේ වහලා දාලා තියෙන සරසවිවල උසස් අධ්‍යාපනය ලබන සිය දහස් ගණනක් වු සරසවි සිසු සිසුවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරපු, පාරට බැහැපු ශිෂ්‍ය ක්‍රියාකාරින්. එහෙම අරගලයකට නායකත්වය දීපු එක වරදක් හැටියට හංවඩු ගහලා තමයි ත්‍රස්ත පනතක් වගේ මර්දන නීතියක් යොදා ගෙන ඔවුන්ව හිරකරලා තියෙන්නේ. අපි රනිල් වික්‍රමසිංහගේ ආණඩුවෙන් අහනවා ඔබ කියන ත්‍රස්තවාදියෝ ඉන්නේ පාර්ලීමේන්තුව අස්සෙද? එහෙමත් නැත්නම් ජනතාව වෙනුවෙන් වීදි බහින සරසවි ශිෂ්‍යයෝ අතරේද කියලා" ශිෂ්‍ය ක්‍රියාකාරික රොද්‍රිගෝ ආවේගයෙන් කීය.

පසුගිය දශක ගණනාව පුරාම මේ රටේ සරසවි සිසුන්ට මෙන්ම යුද්ධය පැවති වකවානුවේ දෙමළ ජනතාවට එරෙහිවත්, ඉන් අනතුරුව පාස්කු පිපිරීම්වලින් පසුව මුස්ලිම් ජනතාවට එරෙහිවත් යොදා ගත් කූප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි අලුත් වටයකින් සරසවි සිසුන් මර්දනය කීරීම උදෙසාම යොදා ගන්නා බවයි, අවිශිබම වැඩ බලන කැඳවුම්කරු කියා සිටියේ.

'රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ' චෝදනා

මේ අතර ජනපති අනුමැතියෙන් රහසිගත ලෙස දින 90ක කාලයකට සිරගත කරනු ලැබූ ශිෂ්‍ය ක්‍රියාකාරින් රාජ්‍ය විරෝධී ක්‍රමන්ත්‍රණයෙක නිරතව සිට ඇද්දැයි පොලිසිය 'තවමත් හරියාකාර තහවුරු කරගෙන නැතැ'යි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

"රාජ්‍ය විරෝධි ක්‍රමන්ත්‍රණයක් මෙහිදි සිදුවී තිබේද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ උපදෙස් අනුව යම් කිසි රාජ්‍ය විරෝධී ක්‍රමන්ත්‍රණයකට සම්බන්ධ කටයුතු සිදුවී තිබෙනවාද, ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් සම්බන්ධතාවයක් තිබෙනවාද යන කරුණු පිළිබඳව සොයා බලා එවැනි හෙළිදරවුවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව කටයුතු කරන්න ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට, විමර්ශන භාර දෙන ලෙස පොලිස්පති තුමා මේ වන විට උපදෙස් ලබා දීලා තියෙනවා," යි ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ රැඳවුම් නියෝගයට යටත් කර තිබෙන ශිෂ්‍ය ක්‍රියාකාරින් සම්බන්ධයෙන් මේ වන විටත් රජය කුමන්ත්‍රණකාරී සැලැස්මක් ක්‍රියාවට නංවමින් සිටින බවකි. 'රාජ්‍ය විරෝධි ක්‍රමන්ත්‍රණ' හෝ ඒ හා සම්බන්ධ වැරදි යනු අතිශය බරපතල වැරදි ලෙස ගැනෙන්නකි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර මුදලිගේට මෙයට පෙර අවස්ථා කිහිපයකදීම විවිධාකාරයේ තර්ජන එල්ල වී තිබුණු අතර ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මසදි කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් තලංගම පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ දුරකතනය ඔස්සේ කර තිබුණු මරණීය තර්ජනයයි.

'ජාත්‍යන්තර ප්‍රමිතියට' ගැළපෙන ත්‍රස්ත මර්දන පනත්

ශිෂ්‍ය ක්‍රියාකාරිීන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කිරීම හෙළා දකිමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් මෙන්ම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, යුරෝපා සංගමය ආදි විදේශීය සංවිධාන ගණනාවක්ම නිවේදන නිකුත් කර තිබේ.

ක්‍රියාකාරීන් තිදෙනා සිරගත කරන රැඳවුම් නියෝගයට අත්සන් කිරීම ශ්‍රී ලංකාව අඳුරේ හෙලීමක් වනු ඇතැයි මානව හිමිකම් රැකවලුන්ගේ අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝලාර් සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිට අනතුරු අඟවා තිබුණි.

මේ අතර අප්‍රේල් මාසයේ පටන් වීදි සටන්වල යෙදී සිටි ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීමේ 'හදිසි තීන්දුව' ගැන ප්‍රශ්න කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද ඊට හේතු පොලිස්පතිවරයාගෙන් විමසා යවා තිබේ.

"කොමිසමට මේ තාක් දුරට ලැබී ඇති වාර්තාවලින් තහවුරු වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා සිටින මේ පුද්ගලයන් හුදෙක් විරෝධතා පැවැත්වීමේ ස්වකීය මූලික අයිතිය පාවිච්චි කර ඇති බවයැ" යි කොමිසමේ සභාපතිනි හා හිටපු විනිසුරු රෝහිණි මාරසිංහ සහ කොමසාරිස් අනුෂා ශන්මුගනාදන් විසින් පොලිස්පතිට යවා ඇති ලිපියේ සඳහන් වේ.

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත, දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන මර්දන උපකරණයක් ලෙස යොදාගෙන තිබේ. දෙමළ තරුණ සටන්කාමීන්ට එරෙහිව ප්‍රධාන වශයෙන් යොදාගැනීම නිසා "කොටි පනත" ලෙස 80 දශකයේ මුල් භාගයේදී දකුණේ සිංහල ජනයා විසින් හඳුන්වන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් උතුරේ දෙමළ තරුණ ජනයා සිය ගණනින් රඳවා තබා ගනිමින් වද හිංසාවට පාත්‍ර කරන ලද්දේ "ත්‍රස්තවාදය මාස හයෙන් අවසන් කිරීමට" ජනාධිපති ජයවර්ධන විසින් 1979 ජූලි මාසයේදී උතුරේ ආඥාපතිවරයා ලෙස පත්කර යවන ලද බ්‍රිගේඩියර් තිස්ස වීරතුංගගේ අධීක්ෂණය යටතේ ය.

එම පනත දකුණේ දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව ජයවර්ධන ආණ්ඩුව විසින් මුල්වරට යොදාගන්නා ලද්දේ අදාළ පනත හඳුන්වා දීමෙන් වසර හතරකට පමණ පසු ය. ඒ වනවිට තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනෙකුට එරෙහිව 1984 නොවැම්බර් මාසයේදී පළමුවරට යොදාගත් එම පනත 80 දශකයේ අග භාගයේදී දකුණේ සිදුකළ සුවිශාල රාජ්‍ය අපරාධ සඳහා නීතිමය ආවරණයක් වශයෙන් පසුව යොදාගන්නා ලදී.

යුද්ධය පැවති සමයේදිත්, ඉන් පසුවත් උතුරු නැගෙනහිර ද ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකම පදිංචි දෙමළ ජාතිකයන්ව අත්අඩංගුවට ගැනීමටත්, අධිකරණයක් හමුවට පමුණුවීමකින් හෝ නඩු විමසීමකින් තොරව වසර ගණන් සිරකර තැබීමටත් බහුල ලෙස යොදාගන්නා ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 2019 පාස්කු පිපිරීම් මාලාවෙන් අනතුරුව මුස්ලිම් ජනයා සිය ගණනක් එසේ අත්අඩංගුවට ගෙන නඩු විමසීමකින් හෝ තොරව රඳවා තබා ගැනීම සඳහා ද යොදාගන්නා ලදී.

කෙසේ වුවද, පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී ත්‍රස්ත මර්දන පනත (Counter Terrorism Act - CTA) ලෙස අලුත්වැඩියා කර 'ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූල' යැයි පැවසූ නව පනතක් ගෙන ඒමට සැළසුම් කරන ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ දිගින් දිගටම මතු වූ ජාතික හා ජාත්‍යන්තර විරෝධය හේතුවෙනි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රීය රාජ්‍ය නොවන සංවිධාන වැඩි වශයෙන් සහයෝගය සැපයීමට එවකදී ඉදිරිපත් විය. නමුත්, දශක හතරකට නොඅඩු කාලයක් තිස්සේ දෙස් - විදෙස් මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ගේ ප්‍රධාන ඉල්ලීමක්ව තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතමුළුමනින්ම අහෝසි කර දැමීමට කටයුතු කරන ලෙස ය.

මේ අතර, ඉකුත් අඟහරුවාදා (23) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතු ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන කියා සිටියේ, 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි අහිතකර අංග ඉවත්කර ජාතික ආරක්ෂක පනත (National Security Act) නමින් නව පනතක් ගෙනඒමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව' ය.☐

© JDS